Print this page

නයිටිංගේල් සමරු ප්‍රණාම උළෙල පොළොන්නරුවේ දී

මැයි 16, 2018

ෆ්ලොරන්ස් නයිටිංගේල් අනුස්මරණ දිනය සහ ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් පොළොන්නරුව මහ රෝහලේ කාර්ය මණ්ඩලය සංවිධානය කළ “නයිටිංගේල් සමරු ප්‍රණාම උළෙල” සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සහ ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව මහ රෝහලේ දී ඊයේ (15) පෙරවරුවේ දී පැවැත්විනි.


මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සුජාතා සේනාරත්න මහත්මිය - “ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණිය විසින් ආරම්භ කරන ලද හෙද සේවාව අද වන විට සෑම සියලු ක්ෂේත්‍රයකින්ම ඉදිරියට පැමිණ තිබෙනවා. දැනුම, කුසලතා, ආකල්ප, තාක්ෂණය සහ අධ්‍යාපනය ආදී විවිධ විශේෂතාවලින් පිරිපුන් වෘත්තීකයින් පිරිසක් බවට හෙද හෙදියන් පත්ව තිබීම විශේෂත්වයක්.

“සුවපත් රටක් සවිමත් හෙටක්” ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල බිහි කිරිම අරමුණූ කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ගෙනයනු ලබන වැඩපිළීවෙල සාර්ථක කර ගැනීම සදහා හෙද හෙදියන්ගේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. වර්තමාන හෙද සේවාවේ උන්නතිය සදහා රජය පියවර රැසක් ගෙන තිබෙනවා.

පොළොන්නරුව මහ රෝහල ප්‍රධාන පෙළේ රෝහලක් බවට පත් කිරීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක් වූ කැපවීම අගය කළ යුතුයි. ජනාධිපතිවරයා වන්නට පෙර මහවැලි, කෘෂිකර්ම, සෞඛ්‍ය යන අමාත්‍යධූර හොඹවමින් ජනාධිපතිවරයා පොළොන්නරුව මහ රෝහල සංවර්ධනය කිරිමට පියවර ගනු ලැබුවා. තව ද චීන ශ්‍රී ලංකා මිත්‍රත්ත්ව වෘක්තවේද රෝහල ඉදිකිරීමේ සිහිනය ද සැබෑ වී තිබෙනවා. මෙම වකුගඩු රෝහලෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝගීන් පමණක් නොව අවට දිස්ත්‍රික්කයේ රෝගීන්ට ද ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. කොළඹට පමණක් සිමා වී තිබූ හෘද කිරීටක ප්‍රතිකාර ඒකකයක් ද පොළොන්නරුව රෝහලේ ස්ථාපිත කර තිබෙනවා. හදිසි ප්‍රතිකාර ඒකකයක් ද නුදුරේදීම විවෘත කිරීමට නියමිතයි.“


“ජාත්‍යන්තර හෙද දිනය සනිටුහන් කරමින් ජාත්‍යන්තර හෙද කවුන්සලය වාර්ෂිකව සුවිශේෂි සේවාවන් සිදු කරනු ලබනවා. මෙවර තේමාව වන්නේ “සෞඛ්‍ය යන්න මානව හිමිකමක්. හෙද නායකත්වය තුලින් ඒ සදහා හඩ අවදි කළ යුතුය” යන්නයි. රෝගී සත්කාර සේවා වල දී සියලු දෙනා මෙම මානව හිමිකම සුරැකීමට දායක විය යුතුයි.

එම නිසා හෙදකම ඉතා විශිෂ්ට වූ සේවාවකි. වෙදකමත් හෙදකමත් නිරන්තරයෙන් එකිනෙක බද්ධ වූ සේවාවන් දෙකකි. එම සේවාවන් දෙක අතුරින් ශ්‍රී ලාංකීය හෙද සේවාව ජාත්‍යන්තරයට විවර කරවීම රජයේ අරමුණයි. එහිදී මතුවන අභීයෝග වලට සෑම උපකාරයක් කිරීමටම සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානමින් සිටියි”


මෙහිදී පොළොන්නරුව රෝහලේ හෙද හෙදියන් සදහා තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානයක් ද සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය අතින් සිදු විය. තව ද සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය දක්වන දායකත්වය අගය කරමින් රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඇත්පැටවෙකුගේ අනුරුවක් ද පරිත්‍යාග කරන ලදි.


මෙම අවස්ථාවට පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුලු වෛද්‍යවරුන්,ප්‍රධාන විශේෂ හෙද නිලධාරී හමන්ගොඩ ජයසිංහ මහතා ඇතුලු හෙද කාර්ය මණ්ඩලය සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.