Print this page

යාපනයේ ජනතාවට තවත් ඉඩම් අක්කර 683 ක් මුදාහැරේ

අප්‍රේල් 15, 2018

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව ආරක්ෂක අවශ්‍යතා සඳහා සන්නද්ධ හමුදාවන් විසින් මෙතෙක් භාවිතා කරන ලද තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඉඩම් අක්කර 683 ක් පසුගිය දා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී නිත්‍යානුකූල අයිතිකරුවන් 964 දෙනෙකු වෙත පවරාදෙන ලදී.

පසුගිය මාස කිහිපයක කාලය තුළ යුද්ධ හමුදාව විසින් ගනු ලැබු පියවරයන්ට අනුව ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමට කිසිදු බලපෑමක් නොවන අයුරින් පලාලි, තෙලිප්පලෙයි ප්‍රදේශයේ මෙම ඉඩම් නිදහස් කිරීමට ක්‍රියාමාර්ග ගනු ලැබීය.

මෙම ඉඩම් නිදහස් කිරීමේ උත්සවය 2018 - සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පිරිනමනු ලබන නව අවුරුදු ත්‍යාගයක් ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබීය.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා හින්දු කටයුතු අමාත්‍යාංශය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඒකාබද්ධව සිදු කරන ලද මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

ප්‍රතිසන්ධාන හා ජාතික සංහිඳියාව පිළිබඳ දැනට රජය විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතින්ට තවත් ඵෛතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් සිකුරාදා දින පැවැති උත්සවයේ දී පලාලි ප්‍රදේශයේ මෙලෙස ඉඩම් අක්කර 683 ක් යාපනය ජනතාව වෙත පවරාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති, යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති, රාජ්‍ය නිලධාරින්, ඉඩම්ලාභින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි විය.

Source- SL Army