Print this page

ගමේ ව්‍යවසාකයින් ජාත්‍යන්තරයට ගෙන යෑම ඉලක්කයයි

අප්‍රේල් 14, 2018

ග්‍රාමීය මට්ටමින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර ආරම්භ කරන ව්‍යවසාකයින් සඳහා මෙතරම් උදව් කරන රජයක් මින් පෙර බිහිවී නැතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ලේ දී ''ගාලු ව්‍යවසාය - 2018''ප්‍රදර්ශනය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි. ගාල්ල නගර සභා භූමියේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මෙහෙයවීමෙන් සංවිධානය කර ඇත.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

ගමේ ආර්ථිකය වැඩිදියුණු කරලා රටේ ආර්ථිකය ගොඩනැගීමත් ගමේ සිටින ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කරමින් ඒවා ජාත්‍යන්තර තලයට ගෙන ගොස් රටට විදේශ විනිමය ලැබීමත් අපේ ප්‍රධාන ඉලක්යක් වෙනවා. අපේ රජය බලයට පත්වෙන අවස්ථාවේ පැහැදිලිව කිව්වා ගමේ ආර්ථිකය, රටේ ආර්ථිකය දෙකම සංවර්ධනය කරනවා කියා. මෙහි දී අපට ඉතාමත් වැදගත්වන කොට්ඨාශයක් තමයි ග්‍රාමීය මට්ටමින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාපර කරන පිරිස. ඒ ඔබ සියලු දෙනා. අපි දන්නවා ඔබ තමන්ගේ දහඩිය මහන්සියෙන් තම ව්‍යාපාර වැඩිදියුණු කරලා තවත් කිහිප දෙනෙකුට රැකියා දීලා රටේ නිෂ්පාදනය වැඩි දියුණු කරනවා. අපි රජයක් ලෙස ඔබට සම්පූර්ණ ශක්තිය දෙන්න සූදානම්.

අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දර්ශනය ''අදහස් විසිපන්දහසක් - බිස්නස් විසිපන් දහසක්''තේමාව මුල්කරගත් ව්‍යාපාර නගා සිටුවීමේ ස්වශක්ති ව්‍යාපෘතිය. මේ අනුව අපි රජයේ උපරිම දායකත්වයෙන් රාජ්‍ය හා පුද්ගලික බැංකු 17ක් මගින් රුපියල් ලක්ෂ දෙකක් දක්වාවන ණය මුදලක් සියයට 5.5 ක සහනදායී පොළියක් යටතේ ලබා දීමට කටයුතු කළා. ඒ විතරක් නොවෙයි මේ ව්‍යාපාර සඳහා නැවත අයකර නොගන්නා රුපියල් 50,000ක මූළික වියදම් ප්‍රදානයක් ද රජය මගින් සිදුකරනවා. දැනට පවතින ව්‍යාපාර වැඩිදියුණු කිරීමට රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා ණය මුදලක් ලබා දෙනවා.

අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේ ගමේ පවතින සම්පත් උපයෝගීකරගත් ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හෝ පරිසර හිතකාමී නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා තරුණ, කාන්තා, උපාධිධාරීන් හා වෙනත් විශේෂ හැකියාව්න ඇති අයට රජයෙන් ණය මුදල් ලබාදෙන බවයි. එමෙන් ම ව්‍යාපාරයේ සාර්ථකත්වය මත අදාළ බැංකුව මගින් සාමාන්‍ය පොලී අනුපාත යටතේ අතිරේක ණය මුදල් ලබා ගැනීමට ද අවස්ථාව ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.