Print this page

සේවක අයිතින් නොදෙන ආයතන වැටලීම් මේ වසරේ සිට වැඩි කෙරේ

මාර්තු 13, 2018

සේවකයින්ට හිමි අයිතීන් හා වරප්‍රසාද ලබා නෙදෙන ආයතන පරීක්ෂා කොට ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ මේ වසරේ සිට වේගවත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

මේ අනුව සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායක නොවන ආයතන හා සේවක අයිතින් ලබා නොදෙමින් සේවකයින් ගෙන් වැඩගන්නා අයතන කම්කරු නිලධාරින් විසින් පරික්ෂා කෙරේ.

සාමාන්‍යයෙන් කම්කරු දෙපාර්තමේන්තුව වසරකට ආයතන 75,000ක් පමණ පරික්ෂාවට ලක්කරන අතර මේ වසරේ සිට එම සංඛ්‍යාව 90,000 දක්වා වැඩි කිරීමය පියවරගෙන ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසිය.


මෙම පරීක්ෂණ දිස්ත්‍රිකක් කම්කරු කාර්යාල මඟින් පුහුණු කම්කරු නිලධාරින් ලවා සිදු කෙරෙන අතර ඒවා අධීක්ෂණය කිරීම සඳහා වෙනම නිලධාරින් කණ්ඩායමක් යොදවා තිබේ. ඔවුන් මාස 3කට වරක් එම කාර්යාලවලට ගොස් පරීක්ෂණ වල ප්‍රගතිය විමසා බලනු ඇත.

සේවක අර්ථසාධක අරමුදල් හා සේවා භාර අරමුදල් නොගෙවා පැහැර හරින හාම්පුතුන්ට විරුද්ධවය නඩු පැවැරීමට පියවර ගෙන ඇති බවද විමලවිර මහතා තවදුරටත් කීය.