Print this page

පූජනීය ස්ථානයන්ට සහ රාජ්‍ය ආයතනයන්ට සූර්ය විදුලි පද්ධති ලබා දෙනවා -විදුලිබල ඇමැති

මාර්තු 12, 2018

දිවයිනේ පුජනීය ස්ථානයන්ට සහ ප‍්‍රධාන රාජ්‍ය ආයතනයන්ට සූර්ය විදුලි පද්ධති ලබාදීම තුළින් ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමට අපි ක‍්‍රියා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

සූර්ය විදුලිබල නිෂ්පාදනය රටට, පරිසරයට වගේම පුද්ගලික වශයෙන් ජනතාවටත් ඉතාමත් ලාභදායි ක‍්‍රියාවලියක් බවත් නිවාස දසලක්ෂයක පියසි විදුලි බලාගාර බවට පත්කිරීම ප්‍රධාන අරමුණ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම සූර්ය බලශක්ති සංකල්පය ඉතාමත් හොඳ, ලාභදායි සංකල්පයක් බව පෙන්වා දෙන ඒ මහතා  මේ වන විට කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට සූර්ය විදුලි පද්ධති ලබාදුන් බව ද සඳහන් කළේය.

ඒ අනුව මෙම කාර්යාල වල විදුලිබිල රු.0ක් වනවා වගේම මෙහි සේවය කරන පිරිස් තුළින් මෙම සූර්යබල සංකල්පය සමාජගතවීම වඩා හොඳින් සිදුවී ලංකාවේ නිවැසියන් සූර්ය විදුලිබලාගාර අධිපතිවරුන් වන දිනය මෑතකදීම උදාවේවි" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සියළුම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට සූර්ය විදුලි පද්ධති ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

"සූර්යබල සංග‍්‍රාමය කියන යහපත් සංකල්පය අපි මේ වනවිට යම් මම්ටමකින් සමාජගතකරමින් සිටිනවා. අපේ රටේ 40% ක් ජල විදුලියයි. නමුත් වසර 03 සිට අපේ වර්ෂාපතනයේ සමතුලිතතාවයක් පවතිනවා. මේ අතරේදි අපි කෘතීම වැසි වස්සන්නට ක‍්‍රියාකරනවා. මේ සඳහා පේටන්ට් බලපත‍්‍රය තිබෙන්නේ තායිලන්තයටයි. 1950 සිට ඒ රටේ කෘතීම වැසි වස්සනවා. වලාකුළින් පිරුණ අහසේ ඒ වළාකුළු ඉවත යාමට නොදී, අපිට අවශ්‍ය තැනට වැසි වස්සන්න මේ කෘතීම වැසි මගින් සිදුකිරීමට පුළුවන්. සූර්යබල සංග‍්‍රාමය කියන්නෙත් ඒ වගේ ව්‍යායාමයක් තමයි. සූර්ය බලයෙන් හැකි උුපරිමයෙන්ම ප‍්‍රයෝජන ගන්න තමයි මේ හැම හිරු කිරණකින්ම විදුලිබලය නිපදවන්න අපි සූර්යබල සංග‍්‍රාමය ආරම්භ කළේ.  නිවසක නිපදවන එක් විදුලි ඒකකයක් සඳහා රු. 22.00 මුදලක් ගෙවන්න ලංකා විදුලිබල මණ්ඩලය එකඟවෙලා තිබෙනවා. මේක හොඳ මුදලක්. පුද්ගලික බලාගාර වලට මේ මිල ගෙවනවනම් පෝලිමේ එයි" යැයි  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.