Print this page

දූෂණය පිටු දකින ජනපති සංකල්පය ඵලගන්වන ජනතා වැඩසටහන ඇරඹේ

පෙබරවාරි 13, 2018

දූෂණය, අල්ලස, වංචාව, අක‍්‍රමිකතා සහ නාස්තියට එරෙහි පුළුල් ජනතා වැඩසටහනක් අරඹන බවට ජනාධිපතිතුමා පසුගියදා ලබා දුන් ප‍්‍රතිඥාව අනුව ඒ සඳහා මානවවාදී සියලු ජනතාවගේ අදහස්, යෝජනා සහ කි‍්‍රයාකාරි සහභාගිත්වය ලබාගැනීම ආරම්භ කර තිබේ.

ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (13) පෙරවරුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

සෞභග්‍යමත් නව යුගයක් කරා රට ගෙන යන බලවේගයක් ලෙස දූෂණය, අල්ලස, වංචාව සහ අක‍්‍රමිකතාවයට එරෙහිව පුළුල් දේශපාලන සහ සමාජ සංස්කෘතියක් ගොඩනැගීම, පරිපාලන පද්ධතිය බල ගැන්වීම සහ ශක්තිමත් කිරීම, නීති පද්ධති සහ නීති පසිඳලීමේ ආයතන විධිමත් කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.

ශ‍්‍රී ලාංකික ජාතියේ වර්තමාන අභියෝග පිළිබඳ අවබෝධයෙන් නූතන ජාතියක් ලෙස නැගීසිටීමට අවශ්‍ය ජවය සපයමින් දූෂණයෙන් සහ නාස්තියෙන් තොර ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමාගේ කැපවීම මෙමගින් තවදුරටත් තහවුරු කෙරෙයි.

දූෂණය, වංචාව, නාස්තිය, අල්ලස සහ අක‍්‍රමිකතා දුරලා රට සුවපත් කරන මහා ජනපවුරේ එක් ස්ථම්භයක් ලෙස මෙම ජාතික වැඩසටහනට එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කෙරෙන අතර, මේ පිළිබඳ තම වටිනා අදහස් හා යෝජනා 2018 මාර්තු 01 වන දිනට ප‍්‍රථම ,නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහන, ජනාධිපති කාර්යාලය කොළඹ 01, ලිපිනයට හෝ 011-2431502 ෆැක්ස් අංකය ඔස්සේ හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය ඔස්සේ යොමුකරන මෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 076-4654600 දුරකථන අංකය ඔස්සේ නීතිඥ රජික කොඩිතුවක්කු මහතා හෝ 077-5770882 දුරකථන අංකය ඔස්සේ අ.නි.ර. අමරතුංග මහතා සම්බන්ධකර ගැනීමෙන් ලබාගත හැකිය

PMD