Print this page

ඡන්දය ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානයේ දී ම

පෙබරවාරි 10, 2018
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී පසුගිය මැතිවරණයවලදී සිදු කළ පරිදි ඡන්ද ගණන් කිරීම මධ්‍යගතව එනම් දිස්ත්‍රික් මූලස්ථානයේදී සිදු නොකෙරෙන අතර ඡන්ද මධ්‍යස්ථානයේ දී ම ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
සියලු ම පළාත් පාලන ආයතන කොට්ඨාසවලට වෙන් කර ඇති අතර කොට්ඨාසයක්, ඡන්ද මධ්‍යස්ථාන එකකින් හෝ කිහිපයකින් සමන්විත වේ. ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ඡන්ද ගණන් කිරීම සිදු කරන නමුත් ආරක්ෂක හේතු මත හෝ යටිතල පහසුකම් පිළිබඳ කරුණු මත හෝ බොහෝ අවස්ථාවලදී ඒ ඒ කොට්ඨාසවල ප්‍ර‍ධාන ඡන්ද මධ්‍යස්ථානය පිහිටි පරිශ්‍රයේදී එකී කොට්ඨාසයේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීම සිදු කරනු ලැබේ.
 
තැපැල් ඡන්දය ගණන් කිරීම සිදු කරනු ලබන්නේ කොට්ඨාස මුලස්ථානය වූ ඡන්ද මධ්‍යස්ථානයේදීය. තැපැල් ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 50කට අඩු අගයක් ගනී නම් තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දයේ රාහස්‍යභාවය සුරැකීම සඳහා එම ඡන්ද ගණන් කරනු ලබන්නේ එම ඡන්ද මධ්‍යස්ථානයේ සාමාන්‍ය ඡන්ද හිමියන්ගේ ඡන්ද සමඟ මිශ්‍ර‍ කිරීමෙනි.