Print this page

වසර තුනකදී බල අපරාධ 14991 කින් අඩු වෙලා - ඇමති සාගල

ජනවාරි 12, 2018
 
බල අපරාධ වාර්තාවීම 2014 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ දී 14991 කින් අඩු වී ඇති බවත් බල අපරාධ විසඳීම 20% කින් ඉහළ ගොස් ඇති බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.
 
අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ පසුගියදා කිරුලපන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි .
 
"2014 වර්ෂයේ දී බල අපරාධ 50962 ක් වාර්තා වුණා. ඒ ප්‍රමාණයෙන් විසඳන්න පුළුවන් වෙලා තිබුණේ 29396 යි. ඒ කියන්නේ විසඳූ ප්‍රමාණය 58% ක්.
නමුත් 2017 වර්ෂයේ දී බල අපරාධ වාර්තාවෙලා තියෙන්නේ 35971 යි.ඒවායින් 28002 ක් විසඳන්න පුළුවන් වුණා. ඒක ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 78% ක්. අපිට 2014 ට සාපේක්ෂව බල අපරාධ විසඳීමේ ප්‍රතිශතය 20% කින් ඉහළ නංවන්නත් බල අපරාධ වාර්තාවීම 14991 කින් අඩු කරගන්නත් හැකි වුණා. එය ශ්‍රී ලංකා පොලීසිය ලැබූ විශාල ජයග්‍රහණයක්. ඒ විතරක් නෙවෙයි බල අපරාධ ගණයට අයත් වෙන ශරීරය පිළිබඳ වැරදි සම්බන්ධ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 96% ක්. දේපළ පිලිබඳ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 73% ක්. මනුෂ්‍ය ඝාතන පිළිබඳ වාර්තාවූන පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 93% ක්" යැයි ද කීය.
 
"වයස අවුරුදු 16 ට අඩු වින්දිතයාගේ කැමැත්ත ඇතිව සිදුකරන ස්ත්‍රී දූෂණ සම්බන්ධ (ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය) පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 97% ක්. වයස අවුරුදු 16 ට අඩු වින්දිතයාගේ කැමැත්ත නැතිව සිදුකරන ස්ත්‍රීදූෂණ සම්බන්ධ (ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය ) පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 95% කි. වයස අවුරුදු 16ට වැඩි ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 95% ක්. සමස්තයක් ලෙස ස්ත්‍රී දූෂණ පිළිබඳ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 95% ඉක්මවනවා. අපි මේ විදිහට තමයි යහපාලනයේ වෙනස උදාකර දෙමින් ඉන්නේ".
 
"විශේෂයෙන්ම කතාකරන්න කැමතියි ළමයින්ට අයුතු ලෙස සැලකීම සහ අයුතු ලෙස ලිංගික ප්‍රයෝජන ගැනීම සම්බන්ධ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 97% ඉක්මවනවා. ඒ වගේම අපහරණය හා පැහැරගෙන යාම් සම්බන්ධ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 91% ක්. අපි මේ තත්ත්වය තවත් ඉහළ නංවන්න කටයුතු කරනවා. නීති විරෝධී රැස්වීම් සහ කැරලි කෝලහාල සම්බන්ධ පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය 95% කක්. එය 2014 ට සාපේක්ෂව 22% ක ඉහළ යාමක්. මේ රටේ ජනතාවට බිය සැක නැතිව සාධාරණයව ජීවත්වෙන්න පුළුවන් වටපිටාව සකසමින් ඉන්නවා. දැනට යම් ප්‍රගතියක් ලබමින් ඉන්නවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. මේ අවුරුද්දේ අපි ඊට වටා ඉදිරියට යෑම අපේ වගකීමක්" යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.