Print this page

ආසියාවේ ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ස්ථාපිත කෙරේ

දෙසැම්බර් 07, 2017
ආසියානු කලාපයේ රටක ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය Freshwater Fisher Information System- Infish  ඊයේ (06) බත්තරමුල්ල ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය NAQDA විසින් ආරම්භ කරනු ලැබීය.
 
මේ යටතේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ජලාශයන්හි සිදු කෙරෙන ධීවර කටයුතු මෙන්ම ධීවර ප්‍රජාවගේ තොරතුරු, එක් එක් ජලාශයෙන් දෛනිකව නෙළාගන්නා මත්ස්‍ය සම්පත් ප්‍රමාණය,  එක් එක් ධීවර යාත්‍රාවන් විසින් අල්ලා ගන්නා මසුන් ප්‍රමාණයන් මෙන්ම ඔවුන් ලබන ආදායම් හා මුල්‍ය ඉතිරිකිරීම් ආදි සියලුම දත්ත මෙම පද්ධතිය  යටතේ අන්තර් ගත කෙරේ.
 
 විශේෂයෙන් මිරිදිය මත්ස්‍ය සම්පත කළමණාකරණය මෙන්ම ධිවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම තොරතුරු පද්ධතිය පරිගණකගත ජාල පද්ධතියක් මගින් ක්‍රියාත්මක වේ.
 
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය දියත් කිරීමේ අවස්ථාව පැවැතිනි.  දැනට අප රටේ ජලාශ 10,000කට ආසන්න ප්‍රමාණයක් තිබේ. ඉන් තෝරාගන්නා ලද ජලාශ 45ක ප්‍රථම අදියර යටතේ මෙම පද්ධතිය මගින් නියාමණය කෙරේ. 2018 අවසන් වනවිට සියලුම ජලාශ මෙම පද්ධතියට ඇතුළත් කෙරේ.
 
මේ සඳහා එක් එක් ධීවර සංගම් සඳහා ටැබ් පරිගණකයක් බැගින් ද, පරිගණක උපාංග ද ලබා දෙන අතර මේ සදහා විශේෂ මෘදුකාංගයක්ද -App  නිර්මාණය කර තිබේ.
 
ඊයේ මේ සඳහා පැවැති උත්සවයේ දී ධීවර සංගම් 30ක් සඳහා රුපියල් 1,95,000 පමණ වටිනා උපකරණ කට්ටලය බැගින් පිරිනමනු ලැබීය. මේ සඳහා රජය වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන 08කි. ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබෙන සුන්දර තොටුපොළ වැඩ පිළිවෙල යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකය. මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අතින් අදාළ උපකරණ කට්ටල ධීවර සංගම් වෙත බෙදා දෙනු ලැබීය. මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ ගත වු වසර දෙක තුළ මෙරට මිරිදිය ධීවරයින් ලබන මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි.
 
මෙම අවස්ථාවට NAQDA සභාපති නීතිඥ උපාලි මොහොට්ටි, අධ්‍යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න හා ධීවර සංගම් නියෝජිතයෝ රැසක් ද  සහභාගි වුහ.