Print this page

කම්කරු වන්දි ආඥා පනත ගැළපෙන පරිදි සංශෝධනය කරනවා - කම්කරු ඇමැති

ඔක්තෝබර් 12, 2017

දැනට පවතින කර්මාන්ත ශාලා ආඥා පනත සහ කම්කරු වන්දි ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කරන බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතිය නිමිති කරගෙන කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

දැනට තියෙන පනත අනුව අපේ රටේ කර්මාන්තශාලාවලින් 30%ක් පමණ ප්‍රමාණයක්  ආවරණය වන බව පෙන්වා දුන් ඒ මහතා අනිත් 70%වම මේ දැන් තියෙන පනතින් ආවරණය  නොවීම හේතුවෙන් එම අංශවල සේවය කරන්නන්ට අසාධාරණයක් හෝ අනතුරක්  වූ විට ඒ අය වෙනුවෙනුත් සේවය කිරීමට හැකිවන පරිදි පනත සංශෝධනය විය යුතුව  බවද පෙන්වා දුන්නේය.

දැනට කම්කරු වන්දි පනත අනුව ශ්‍රමිකයෙක් වෘත්තීය අනතුරක් හේතුවෙන් මියගියොත් ඔහුට හෝ ඇයට හිමි වන්දි මුදල දැනට ලබා දෙන මුදල මෙන් දෙගුණයක් එනම් රුපියල් ලක්ෂ දහයක් ලෙස සංශෝධනය කිරීමටත් අදහස් කර තිබෙන බවත් මෙම පනත කඩිනමින් සංශෝධනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය වෙත ISO 9001-2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණි.

මේ අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සුනිල් අබේවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  චම්පිකා අමරසිංහ, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති මහින්ද මඩිහහේවා, ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරී ඩී.ආර්.ජයලත් සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්රා යන මහත්ම මහත්මීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.