Print this page

ගැහැණු දරුවා ආරක්ෂා කිරීම සඳහා සියලු පුරවැසියන්ගේ සහයෝගය අවශ්‍යයි - කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර

ඔක්තෝබර් 11, 2017
ගැහැණු දරුවාට සමාජයේ උපහාස හිංසනවලට ලක් වීමට ඉඩ හැරීම නුසුදුසු බවත් ගැහැණු දරුවා ආරක්ෂා කිරීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට පමණක් සිදු කළ නොහැකි බවත් ඒ සඳහා සියලු පුරවැසියන්ගේ සහය අවශ්‍ය බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළේය.
 
අමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළේ  අද(11)  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ''ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය'' සැමරීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.
 
මෙවර  ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය ''දියණියේ, සුරක්ෂිත ලොවක පරිපුර්ණ වීමට අපි ඔබට අත දෙමු''  තේමාව මුල් කරගනිමින් පැවැත්වුණී. 
මෙහිදී  1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය ඔස්සේ දූදරුවන්ට ඕනම අවස්ථාවකදී යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවූ විට හෝ සැක සහිත සිද්ධියකදී පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර  මෙය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් ඇමතිනිය පැවසීය.
 
මීට අමතරව සෑම පොලිසියකම කාන්තා හා ළමා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන අතර ඒ ඔස්සේ පැමිණිලි කර හැකි බවත්, ඒ සඳහා නීතිය පැත්තෙන් අවශ්‍ය ආධාරා උපකාර ලබාදීමටත් අමාත්‍යාංශය සූදානම් බවත් පැවසීය.
 
කාන්තාවක් සමාජයේ විශාල කාර්යභාරයක් කරන කොටසක් වන අතර ඔවුන්ව රැක ගැනීම, ආරක්ෂා කිරිම සහ නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් සමාජයක් රටක් ගොඩනැඟීම වැදගත් බව ද අමාත්‍යතුමිය පැවැසීය.
 
මේ අවස්ථාවට එක්වෙමින් චතුරිකා සිරිසේන මහත්මිය පැවසුවේ දියණියකට සමාජයේ සුරක්ෂිත හෙටක්, සුරක්ෂිතව පරිපූර්ණ වීමට ඉඩකඩ තිබිය යුතු බවයි. 
 
මෙහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මඟින් පවත්වනු ලැබූ පෝස්ටර් තරඟාවලියේ සමස්ත ලංකා ජයග්‍රාහකයන් සඳහා සම්මාන සහ සහතික පත්‍ර ප්‍රධානයක් ද සිදු කෙරුණි. ඒ සඳහා ලංකා බැංකුව අනුග්‍රහය දක්වා තිබේ.
 
මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා  ඇතුළු මහත්ම මහත්මීන් සහ පාසල් දරු දැරියන් රැසක් සහභාගී වුහ.