Print this page

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් අපේක්ෂකයෙක් අධ්‍යාපන ඇමැති හමු වෙයි

අගෝස්තු 12, 2017

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන යුනෙස්කෝ විධායක මණ්ඩලයෙහි 202 වැනි සැසිවාරයේ දී එම ආයතනය සඳහා නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයකු තෝරා ගැනීමට නියමිත අතර, ඒ සඳහා මෙවර අපේක්ෂකයින් 9 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතයි.

මහජන චීන සමූහාණ්ඩුව නියෝජනය කරමින් මෙවර යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ඉදිරිපත් වන, යුනෙස්කෝ සංවිධානයේ වර්තමාන අධ්‍යාපන අංශය භාර සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කරන ආචාර්ය ක්‍යු. ටෑංග් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (10) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී  ආචාර්ය ක්‍යු. ටෑංග් මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  හමුවේ ඔහුගේ ඉදිරි දැක්ම හා වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කළේය.  යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ඓතිහාසික, පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකමින් යුත් ස්ථාන සංරක්ෂණය කිරීම සම්බන්ධව ද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ද, යුනෙස්කෝව හා ශ්‍රී ලංකාව අතර ඉදිරි සබඳතා වැඩිදයුණු කරගන්නා ආකාරය පිළිබඳව ද මෙහි දී දෙපාර්ශවය දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා සහ ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ඇතුළු චීන තානාපති කාර්යාල සහ යුනෙස්කෝ ජාතික කොමිෂන් සභා නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.