Print this page

රත්නපුර ඉඩම් ගැටලු විසඳීමට විශේෂ සාකච්ඡාවක්

අගෝස්තු 12, 2017

රත්නපුර දිස්ති‍්‍රක්කයේ රජයේ ඉඩම් ගැටලු සම්බන්ධව විශේෂ සාකච්ජාවක් පසුගියදා පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ඉල්ලීම පරිදි ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර එම ඉඩම් ගැටලු වෙනුවෙන් කඩිනම් විසඳුම් ලබාදීම කටයුතු කරන ලෙස ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව රත්නපුර දිස්ති‍්‍රක්කයේ නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ නිවිතිගල, ඇලපාත, කහවත්ත සහ බලංගොඩ මැතිවරණ කොට්ඨාසයේ බලංගොඩ, ඉඹුල්පේ යන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ඉඩම් ඔප්පු නොමැති අය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමටත් ඒ සඳහා ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමටත් මෙම උපදෙස් ලබාදී ඇත.

මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය අයි.එච්.කේ මහානාම, ඉඩම් අමාත්‍යංශයට අනුබද්ධ ඉඩම් ප‍්‍ර‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව යන ආයතන වල නිළධාරීන් සහ නිවිතිගල, ඇලපාත, කහවත්ත, බලංගොඩ, ඉඹුල්පේ යන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාෂ වල ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලූ මහත්ම මහත්මීන් පිරිසක් එක් වූහ.