Print this page

මුදල් විශුද්ධිකරණය පිළිබඳ සමුළුව අද

ජූලි 17, 2017
මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20වන වාර්ෂික සමුළුව අද (17) සිට 21දා දක්වා කොළඹ දී පැවැත්වේ.
 
මෙම උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිත අතර සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජනය සහිත දේශීය සහ විදේශීය ආරාධිතයින් 450ක් පමණ සහභාගිවීමට නියමිතය.
 
මෙම කලාපීය කණ්ඩායමසිය සාමාජික රටවල මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිණිස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ 40ක්‍රමවත් අයුරින් ස්ථාපනය කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ ව නිරීක්ෂණය කරනු ලබයි. 
 
මේ වන ශාන්තිකර කලාපීය කුඩා ආර්ථිකයන්ගේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ඉන්දියාව වැනි විශාල ආර්ථිකයන් ද මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සමාජිකත්වය දරයි. ස්ථීර සාමාජික රටවලට අමතර ව මූල්‍ය කාර්ය සාධක බලකාය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආර්ථික සහයෝගිතාවය සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ආසියානු සංවර්ධන බැංකුව සහ මූල්‍ය බුද්ධි ඒකකයන්ගේ එකතුවෙන් සැඳුම්ලත් එග්මොන්ට් කණ්ඩායම වැනි ජාත්‍යන්තර මෙන් ම කලාපීය සංවිධාන නියෝජනය වන නිරීක්ෂකයන් පිරිසක් ද මෙවර වාර්ෂික සමුළුවට සහභාගි වේ.
 
අන්‍යෝන්‍ය ඇගයීම් හැරුණු විට වර්තමානයේ සිදුවන මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් සහ එහි ඇති අවදානම් තත්ත්වයන් සම්බන්ධව සිය සමාජික රටවලට සහ මහජනතාවට දැනුවත් කිරීම සඳහා තාක්ෂණික සහාය, පුහුණුවීම් සහ උපාය මාර්ග අධ්‍යයන කිරීමට අවස්ථාව ලබාදීම මගින් ද මෙම කණ්ඩායම සිය සාමාජික රටවලට සහාය ලබා දේ. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ඇති සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම සඳහා ජාතික සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් ස්ථාපනය කිරීමට ද මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සිය සාමාජිකයන්ට සහාය වේ.
 
2016 - 2018 වර්ෂයන් සඳහා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සම සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරන බැවින් මෙම වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වේ.
 
එසේම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කටයුතු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ඇති කැපවීම තහවුරු කිරීම සඳහා මෙම අනගි අවස්ථාවක් වනු ඇත.
 
මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 13ක ප්‍රධානත්වයෙන් 1997 වසරේ දී තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ කරන ලදී.