Print this page

විකාශන ශ්‍රේණගත කිරීමේ තක්සේරුකරණ වාර්තාව එළිදැක්වීම අද

ජූලි 17, 2017

ශ්‍රී ලංකාවේ විකාශන ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය  තක්සේරුකරණය සම්බන්ධ ස්වාධීන විද්වත් කමිටු  වාර්තාව (Report on Assessment of the Broadcast Ratings System in Sri Lanka) අද (17) ප.ව. 3.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, “Lotus” ශාලාවේදී එළි දැක්වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරාධනය පරිදි, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ.ඒ.පී.සිද්ධිසේන, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රත්නසිරි අරංගල යන මහත්වරුන් ප්‍රධාන ස්වාධීන විශේෂඥ කමිටුවක් විසින් මෙම වාර්තාව සම්පාදනය කරන ලදී.

මෙම වාර්තාව සකස් කර ඇත්තේ ලංකාවේ රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යයන් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගේ චර්යාවන් හා තෝරාගැනීම් විමසීම සඳහා ක්‍රියාත්මක කරන විකාශන ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය පිළිබඳ කරන ලද පුළුල් ඇගයීමකින් අනතුරුවය.  2016 වසරේ ජුලි මාසයේ ආරම්භ කරන ලද මෙම ඇගයීම සඳහා පසුගිය වසරක කාලය පාදක කරගන්නා ලදී.

මෙම විෂය සම්බන්ධ මැදිහත් හා විශ්වසනීය ඇගයීමක අවශ්‍යතාව දිගු කාලයක පටන් මතුව තිබිණි. එමෙන්ම, පවතින ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය පිළිබඳව ජනමාධ්‍ය ආයතන රැසක් විසින් විවිධ අවස්ථාවන්හිදී තම අදහස් ප්‍රකාශ කරන ලදී.  මෙම  වාර්තාව සකස් කරනු ලැබූයේ විකාශන කළමනාකරුවන්ගේ, ‍දැන්වීම් ක්ෂේත්‍රයේ නියෝජිතයින්ගේ, මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ මෙන්ම ශ්‍රේණිගත කිරීමේ ආයතන වල අදහස් හා යෝජනාවලට සවන් දීමෙන් පසුවය.

මාධ්‍ය හා දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හේතුවන කරුණු ගණනාවක් හා නිර්දේශ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන අතර වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් මෙන්ම ජනමාධ්‍ය හා දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රධානීහු රැසක්ද සහභාගිවීමට නියමිතය.