Print this page

සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු පිරවීමට පියවර

ජූලි 17, 2017

සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් හැර අනෙකුත් සේවාවල පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

 ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති සමග පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ අනුව උපස්ථායක, සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය සහායක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, සෞඛ්‍ය කළමනාකරණ සේවා නිලධාරින්, සඳහා ඇති පුරප්පාඩු පිරවීමට නියමිතය.

දිවයින පුරා රෝහල්වල උපස්ථායක පුරප්පාඩු 1000 ක් ඇති අතර, 2017 වසර තුල 541 ක් බඳවා ගෙන ඇත. එම පිරිස මේ වනවිට රෝහල්වලට අනුයුක්ත කර ඇත. සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය අවසන් කිරීම සඳහා නවක සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය සහායකයින් බඳවා ගැනීමට නියමිතය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 10714 ක් සේවය කළ යුතුව ඇතත් දැනට සෞඛ්‍ය සේවාව තුළ ඇත්තේ එම නිලධාරිනියන් 8401 ක් පමණි. තවත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 3000 කගේ අවශ්‍යතාවයක් ඇත.

මේ වනවිට 624 ක් පුහුණුව ලබන අතර ඔවුන් කඩිනමින් රාජකාරී කටයුතු ආරම්භ කිරිමට නියමිතය. සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පුහුණු කිරීම සඳහා වෙනම වින්නඹු පාසලක් ඉදිකිරිම සඳහා සැළසුම් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දෙන ලදි. එහි එක්වර 1000 ක් පමණ පුහුණු කළ හැකි අයුරින් සැළසුම් සකස් කිරිමට නියමිතය.

ආදේශක සෞඛ්‍ය කාර්ය සහායකයින් ලෙස සේවය කරන සෞඛ්‍ය සේවකයින් ස්ථීර කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටියහ. ඒ පිළිබද අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

සෞඛ්‍ය සේවකයින් සඳහා නිල නිවාස ඉදිකිරීමෙි ව්‍යාපෘතිය යටතේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු සඳහා නිල නිවාස සකස් කිරීමේ වැඩපිළිවෙළ සකස් කර ඇත. සෙසු ක්ෂේත්‍රවල සේවක සේවිකාවන් සඳහා නිල නිවාස ඉදිකිරීමේ සැළසුම් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේනන්තු මන්ත්‍රි චතුර සේනාරත්න, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු සහ වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිටියහ.