Print this page

ධීවර යාත්‍රා මුහුදු යෑමට පෙර පොලිතීන් තිබේදැයි පරීක්ෂා කරයි

ජූලි 16, 2017

පොලිතීන් තහනම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණයට සහාය වෙමින් සියලු ධීවර යාත්‍රා මුහුදට යනවිට ධීවර වරායන් හිදී පරීක්ෂාවකට ලක් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩිපුරම බැහැර කරන රටවල් අතරින් 05වන ස්ථානය හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. මුළු ලෝකයම ප්ලාස්ටික් වසංගතයට මුහුණ පා සිටින මෙම අවස්ථාවේ තවත් වසර දහයක් පහලොහක් ගත වන විට මහා සාගරයම තවත් බේරේ වැවක් මෙන් කැලිකසලවලින් ගහන ජලාශයක් සේ දිස්වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අප රටේ ධීවර යාත්‍රා 65,000ක් පමණ තිබෙන අතර ඉන් දිනකට ප්ලාස්ටික් ටොන් 06කට ආසන්න ප්‍රමාණයක් සාගරයට බැහැර කරනු ලබයි. මේ නිසා සාගරය විශාල දුෂණයකට ලක් වන අතර එය වැළැක්වීම සඳහා ධීවර නිලධාරින් මගින් ධීවර ප්‍රජාව දැනුම්වත් කළ යුතු බවත්, විශේෂයෙන් ධීවර වරායන් තුළින් ධීවර යාත්‍රා සාගරයට ගමන් කරන අවස්ථාවන් හිදී ඔවුන් රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණයන් පිළිබදව තොරතුරු සටහන් කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට පැවසීය.

 එමෙන්ම ඒ වෙනුවට හදුන්වා දී තිබෙන විකල්ප ද්‍රව්‍ය භාවිතා කරන ලෙසත්, සෑම ධීවර යාත්‍රාවකම අපද්‍රව්‍ය බැහැර කිරීමට සුදුසු භාජනයක් තිබිය යුතු අතර එම අපද්‍රව්‍ය සාගරයට මුදා නොහැර ආපසු ගොඩබිමට පැමිණි පසු පුළුස්සා දැමීමට හෝ වළ දමා විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අප රටේ පරිසර දුෂණයට මෙන්ම ඩෙංගු රෝග ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් හේතු වි තිබෙන්නේ ඉවත ලන ප්ලාස්ටික් අපද්‍රව්‍යයි. දැනට කොළඹ ඇතුළු සෑම ප්‍රධාන නගරයකම කසල කඳු දක්නට ලැබෙන අතර මෙම කසල කඳුවල අන්තර් ගත ද්‍රව්‍ය වලින් සියයට 90ක්ම නොදිරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ.

පෙර පැවැති කිසිදු රජයක් ප්ලාස්ටික් තහනම් කිරීමට අත නොතබන ලද්දේ එම සමාගම් හරහා ලැබුනු විශේෂ වාසි නිසාය. නමුත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්ලාස්ටික් තහනම් කිරීම සඳහා ගන්නා ලද තීරණයට රටේ සියලු දෙනාගේ සහයෝගය පළ විය යුතුය. එමෙන්ම අනාගත පරපුර මෙන්ම රටේ පැවැත්ම සළකා ගත් මෙම වටිනා තීරණය සෑම කෙනෙක්ම ඇගයීමට ලක් කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

දැනට දශක කිහිපයකට පෙර මේ සිලි සිලි බෑග්, ෂොපින් කවර තිබුනේ නැත. කඩවල්වල  සීනි රාත්තල් භාගය පවා ඔතා දෙන ලද්දේ කඩදාසි බෑග්වලය. මිනිස්සු කඩවල්වලට රැගෙන ගියේ පන්වලින් වියන ලද මළු ය. ඒවා පරිසර හිතකාමි ද්‍රව්‍ය වේ. අපේ ගම්වල විසු ගැමි කාන්තාවෝ පන් වලින් පැදුරු, මළු, වට්ටි, පෙට්ටි ආදිය තමන් ගේ අවශ්‍යතා සඳහා වියාගත්තෝය. එවැනි යුගයක මෙවැනි ඩෙංගු වැනි රෝග මෙන්ම කසල කඳු වාර්තා නොවු බවත් නොඉඳුල් පරිසරයක් මුළු රට පුරා පැවැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එම නිසා සෑම විටම දිරාපත් වන ද්‍රව්‍ය භාවිතය උදෙසා ධීවර ප්‍රජාව පෙළඹවිය යුතු යැයිද, සාගරය යනු සම්පතක් ලෙස ආරක්ෂා කර ගැනීමට ධීවර ප්‍රජාව දැනුම්වත් කළ යුතු බවත් අමාත්‍යවරයා කීය