Print this page

පාර්ලිමේන්තු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ජනමාධ්‍යවේදීන්ට කළ හැකි කාර්යයක් - මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

ජූනි 18, 2017

පාර්ලිමේන්තුව තුළ සැළකිය යුතු සුබවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවත් පාර්ලිමේන්තු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ජනමාධ්‍යවේදීන්ට කළ හැකි කාර්යයක් බවත් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ හැකියා සහ වෘත්තීය කුසළතා ප්‍රවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහනකට ඊයේ (18) එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සහභාගී වන ප්‍රථම නිල උත්සවය මෙයයි.මෙයට සහභාගීවීමට ලැබීම සතුටට කාරණයක්. මෙවැනි වැඩසටහනකදී බලාපොරොත්තු වන්නේ ජනමාධ්‍යවේදියා දැනුවත් කිරීමයි.අද පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් අභියෝගයකට මුහුණ දෙනවා, පාර්ලිමේන්තුව සජීවි ලෙස විකාශනය වීමෙන්. මේ දේවල් නිවැරැදි ලෙස රටේ ජනතාව දැනුවත් කිරීමේ අභියෝගය ජනමාධ්‍යවේදීන්ට තිබෙනවා.

පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළ, පාර්ලිමේන්තු සන්දර්භය තුළ ඉදිරියට ගිය ක්‍රියාවලියක් සිදුවිය යුතු වෙනවා. ඉදිරි කාලවලදී කාරක සභා ක්‍රියාවලියට සහභාගීවීමට ජනමාධ්‍යයට අවස්ථාව සළස දීමට කතානායකතුමා බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව ජනතාව දැනුවත් කල යුතුයි.

පාර්ලිමේන්තුව පෙර නොවූ විරූ ආයතනයක් බවට පත් වී තිබෙනවා.පාර්ලිමේන්තුව තුල සැළකිය යුතු සුබවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා.සෑම රෙගුලාසියක් ම පනතක් ම ගැන මාධ්‍යවේදීන් දැනුවත් කළ යුතුයි. ඒ පිළිබඳව පසුබිම් වාර්තා මාධ්‍යවේදීන්ට ලබාදීම වැදගත්.

ඒ අනුව පුවත් ඉතාමත් ගුණාත්මකභාවයෙන් හා ඵලදායි ලෙස සිදු කරන්නට අවස්ථව ලබෙනවා.පාර්ලිමේන්තු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ජනමාධ්‍යවේදීන්ට කළ හැකි කාර්යයක් බව අපගේ විශ්වාසය යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය