අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීතොටමුල්ල හානියට පත් දේපළ තක්සේරුව අද සිට

    අප්‍රේල් 17, 2017

    මීතොටමුල්ල සිද්ධියෙන් හානියට පත් වූ දේපළ තක්සේරු කිරීමේ කටයුතු අද (17) දින තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා කොළොන්නාව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ නිලධාරීන් යොදා ගනිමින් සිදු කරන බව ස්වදේශ කටයුතු  අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට හඳුනා ගනිමින් ඔවුන් සඳහා සුරක්ෂිත ස්ථාන පිළියෙළ කිරීමේ කටයුතු ද ඒ සමඟම ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කොළොන්නාව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය වෙත අවශ්‍ය උපදෙස් හා දැනුම්වත් කිරීම් සිදු කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සියලු කටයුතු දින 5ක් තුළ නිම කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

    මෙහිදී විපතට පත් ජනතාවට උපරීම සහන සැලසීම සඳහා කොළඹ දිසාපතිවරයා, කොළොන්නාව ප්‍රාදේශීය මහලේකම්, ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ නිලධාරීන්ද යොදවා වහාම ඒ සඳහා කටයුතු කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් හා මගපෙන්වීම මත සිදු කරනු ලබන මෙම සහන ක්‍රියාවලිය මඟින් කොළොන්නාවේ විපතින් ජීවිත අහිමි වූවන්ගේ අවමඟුල් කටයුතු සම්පූර්ණයෙන්ම රජයේ අනුග්‍රහයෙන් සිදුකිරීමට කටයුතු යොදා ඇත. එසේම විපතට පත් වූවන්ට කඩිනමින් අවශ්‍ය සහන සොයාබලා සැලසීමට ද කටයුතු කරමින් පවතී.

    විපතට පත් වූවන්ට සම්පූර්ණ වන්දි ගෙවීමට හා ඔවුන්ගේ ජීවිත පෙරට වඩා හොඳින් ගොඩනගා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ජපානයේ සිට දූරකතන මඟින් හා විද්‍යුත් තැපෑල මඟින් මේ හා සම්බන්ධවෙමින් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව  අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන් අතර අගමැතිවරයා විපතට පත් සියලු පවුල් වෙත සිය ශෝක පළ කළ බව ද සඳහන් කළේය.

    මෙම විපත වූයේ කොළොන්නාව කුණ කන්ද ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටියදී බව පෙන්වා දෙන අමාත්‍යවරයා ජපානයේ පූර්ණ සහාය සහ තාක්ෂණික දැනුම ලබාදෙන බවටත් ජපන් රජය නිවේදනය කර තිබෙන බව ද සඳහන් කරයි.

    මෙම සිදුවීම වූ මොහොතේ සිට අවුරුදු නිවාඩුව පසෙකලා විපතට පත් වූවන්ට සහන සැලසීමට ක්‍රියාකළ තම අමාත්‍යාංශයේත් කොළඹ දිසාපති හා කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්, සියලු දෙනාටත්, ත්‍රිවිධ හමුදාපති හා පොලිපති ඇතුළු හමුදාවල සහ පොලීසියේ සියලු නිලධාරීන්ටත් අමාත්‍යවරයා ගෞරවය හා ස්තූතිය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya