අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාලාව හා කෑගල්ල වන්දි ප්‍රදානය අගෝස්තු අවසන් වන විට

    අගෝස්තු 02, 2016
    සාලාව හා කෑගල්ල ප්‍රදේශවල සිදු වූ ආපදාතත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙත ලබාදෙන වන්දි මුදල් මේ මස අවසන් වන විට සම්පූර්ණයෙන් ම ලබාදීමට කටයුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.
     
    ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    ඒ අනුව සාලාව ප්‍රදේශයට පීඩාවට පත් වූ ජනතාවගේ දේපල සඳහා වන්දි ලබාදීමට මිලියන 1179.7ක මුදලක් මෙන් ම කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙත මිලියන 2018.4ක මුදලක් වෙන් කොට ඇති බවත් පීඩාවට පත් වූ ජනතාව වෙත ඉතා කෙටි කාලයකින් වන්දි පිරිනැමීම සිදු වන්නේ පළමුවරට බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.
     
    ඒ අනුව සාලාව ප්‍රදේශයේ නිවාස හා ව්‍යාපාරික ස්ථානවෙත වන්දි පිරිනැමීමේ දී ලක්ෂයට අඩු වටිනාකමින් ඇස්තමේන්තු ගත වී ඇති ස්ථාන 1,404ක් සහ ලක්ෂයේ සිට ලක්ෂ 10දක්වා වූ ස්ථාන 390ක් සඳහා මෙන් ම ලක්ෂ 10ට වැඩි වටිනාකමින් යුත් ස්ථාන 237ක් සඳහා වන්දි පිරිනැමීම සිදු කෙරේ.
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ නායයාම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස 230ක්, අර්ධ වශයෙන් හානි වූ ස්ථාන 1845ක් සහ නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය වූ ස්ථානයන් 1682ක් හඳුනාගෙන ඇති අතර ඒ සඳහා වූ ඇස්තමේන්තු ද සකස් කොට අවසන් වී ඇත. මෙම සියලු ඉදිකිරීම් කටයුතු ත්‍රිවිධ හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය යටතේ සිදු කෙරෙනු ඇත. 
     
    මීට අමතර ව ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත පදිංචි කළ යුතු ස්ථානයන් ඉදිරියේ දී තහනම් කලාප ලෙස නම් කිරීමට කටයුතු කරන බවත් ඉන් හඳුනාගත් ඉඩම්වල කෘෂිකාර්මික කටයුතු පමණක් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.
     
    වර්තමානයේ පවතින්නේ සම්මුතිවාදී රජයක් බවත් එක්සත් ජාතික පක්ෂය මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම්‍යශීලිව සාකච්ඡාකරමින් කටයුතු කරමින් පවත්වාගෙන යන බවත් අමාත්‍යවරයා කීය.
     
    ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂ විවිධ අවස්ථාවලදී විවිධ අභියෝගයන් ට මුහුණ දී ඇතැයි ද ඒවා ජයග්‍රහණය කරමින් පක්ෂයක් ලෙසින් එකතුවී කටයුතු කිරීම අවශ්‍ය යැයි ද මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya