අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි ඇතුන් පුහුණු කිරීමට මධ්‍යස්ථානයක්- මුල් අදියරේ දී අලි ඇතුන් 35ක් පුහුණුවට

    ජූනි 28, 2016

    හීලෑ අලි ඇතුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තම අමාත්‍යංශය මගින් ඉදිරියේදී කටයුතු යොදන බව තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණිජයවික්‍රම පෙරේ‍රා මහතා පවසයි.


    පුහුණු මධ්‍යස්ථානය සදහා සුදුසු ඉඩමක් මේ වන විට සොයමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, ඇත්ගොව්වන් පුහුණු කිරීමටද මෙම මධ්‍යස්ථානය මඟින් සිදු කෙරෙන බවද පැවසීය.

     

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (27) මහනුවර පල්ලේකැලේ පළාත් සභා කාර්යාලයේ පැවති තිරසර සංවර්ධන පරිවර්තනය ප්‍රාදේශියගත කිරීම සදහා පැවති විශේෂ වැඩසටහනට සහභාගී වෙමිනි.

     

    තම අමාත්‍යංශය මෙවැනි වැඩසටහනක් දියත් කිරීමට මූලික හේතුව වූයේ පසුගියදා ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් ඇතුළු පිරිසක් පෙරහැර සදහා අවශ්‍ය අලි ඇතුන්ගේ හිඟය පිළිබද පෙන්වා දීමෙන් පසුව බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

     

    ඒ අනුව ඉදිරියේදී පින්නවල අලි අනාථාගාරය පවත්වාගෙන යන ආකාරයෙන් මෙම පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට කටයුතු යොදන බව පැවසූ අමාත්‍යවරයා එම මධ්‍යස්ථානය මගින් මුල් අදියරේදී අලි ඇතුන් 35 දෙනෙක් ‍පුහුණු කිරීමට කටයුතු යොදන බවද පැවසීය. මීට අමතරව පෙරහැර ඇතුළු ආගමික වැඩසටහන් සදහා ලබා නොදෙන අලි ඇතුන් පවරා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු යොදන බවද පැවසූ අමාත්‍යවරයා ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

     

    දැනට ඇති සංඛ්‍යාලේඛන අනුව ලංකාවේ අලි ඇතුන් 140 ක් පමණ සිටින අතර එයින් 20 ක් පමණ පෙරහැරක ගමන් කිරීමට තරම් නිරෝගී සහ සෞඛ්‍ය සම්පන්න මට්‍ටමක නොමැති බවද පැවසූ අමාත්‍යවරයා පෙරහැරක් වැනි ආගමික උත්සව සදහා අලි ඇතුන් සහභාගී කරවීමේදී එම සතුන්ගේ සෞඛ්‍ය තත්වය සහ පෙරහැරක ගමන් කිරීමට තරම් සුදුසු තත්වයක සිටිනවාදැයි යන්නද සොයා බලා වගකීමෙන් යුතුව උන් ඒ සදහා යෙදවිය යුතු බවද පෙන්වා දෙන ලදී. එසේ නොවුනහොත් අලි ඇතුන් කුලප්පුවී විනාශකාරී තත්වයන් උද්ගත විය හැකි බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.

     

    අලි ඇතුන් ඇතුළු වනජීවින්ගේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් සිටින පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිගයක්ද ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වසරේදී විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙන් පිටවන කණ්ඩා‍‍යමෙන් ඒ සදහා පිරිසක් බදවා ගැනීමට කටයුතු යොදන බවද වැඩි දුරටත් ‍පවසන ලදී.

     

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් එම්.එස්. ප්‍රේමවංශ මහතා ඇතුළු රජයේ නිලධාරින් රැසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya