අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට පොදු ගැටළු රැසකට විසඳුම්

    ජනවාරි 12, 2016
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ පොදු එකඟත්වයකින් කටයුතු කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටු රැස්වීමේදී ඊට සහභාගී වූ සියලු පක්ෂවල මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ එකඟත්වය හිමිවූ බව හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් දිලිප් වෙදආරච්චි මහතා මෙසේ පැවසීය. තමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ප්‍රථම රැස්වීමේදීම දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද ඒකමතිකව සහය පළකිරීම සුවිශේෂී ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙහිදී ගැටළු රැසකට විසඳුම් ලබා දෙමින් පොදු එකඟත්වය මත ඍජු තීන්දු ගැනීම කැපී පෙනිණ.
     
    මෙහිදී රජයේ පාසල් තුළ විවිධ හේතු දක්වමින් මුදල් එකතු කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේ රජයේ චක්‍රලේඛ වලට පටහැනිව මුදල් එකතු කිරීම සිඳු නොකළ යුතු බවය. ඒ අනුව පාසල්වල අවශ්‍යතා වෙනුවෙන් අයකළ හැකි පහසුකම් ගාස්තු හා අනෙකුත් අයකිරීම් වලට අමතරව මුදල් අය කිරීම වහා නවත්වන ලෙස අධ්‍යාපන බලධාරිට දැනුම් දුන් අමාත්‍යවරයා යහපාලන රජය යටතේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කොට ක්‍රියාත්මක වන බැවින් ජනතාව අපහසුතාවයට පත්වන කටයුතු වල නොදෙන්නැයි  නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. 
     
    එලෙසම දිස්ත්‍රික්කයේ පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව දීර්ඝ වශයෙන් මහජන නියෝජිතයින් අදහස් පල කළ අතර ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වූ අධ්‍යාපන බලධාරීන් කරුණු ඉදරිපත් කළහ. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා දිලිප් වෙදආරච්චි හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරුන් දෙදෙනා ද චමල් රාජපක්ෂ මහතා ද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ වසර ගණනාවක් තිස්සේ ගොඩගැසී පවතින අධ්‍යාපන ගැටළු වලට අදාලව සම්බන්ධීකරණ කමිටුව ගත් තීන්දු තීරණ වහා ක්‍රියාත්මක කර ඊළඟ රැස්වීමට එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසය.
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ  රජයේ රෝහල් වල පවතින පහසුකම් හා රෝගීන් පත්වන අපහසුතා පිළිබඳව මහජන නියෝජිතයින් ද සෞඛ්‍ය බලධාරීන් ද විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කළහ. එහිදී දැනට ලැබී ඇති ප්‍රතිපාදන හා පළාත් සභාවේ සහයෙන් රෝග නිවාරණය හා ප්‍රතිකාර සේවා විධිමත් කිරීම් පිළිබඳව තීරණ රැසක් ගෙන ඒවා ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන්හ. එසේම රජයේ රෝහල් වල භික්‍ෂු වාට්ටු නොමැති බවට ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ සාකච්ඡා වූ අතර එහිදී සෞඛ්‍ය බලධාරීන් අවධාරණ කළේ රෝගී තදබදය හා පහසුකම්වල හිඟය ඊට හේතු වී ඇති බවය.
     
    ඒ අනුව තිස්සමහාරාම රෝහලට භික්‍ෂු වාට්ටුවක් ලබා දීමට සිය උපන්දිනය වෙනුවෙන් කැමැත්ත පලකල සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දිස්ත්‍රික්කයේ සියලු රෝහලවල සංවර්ධන සැලසුමක් සකස්කර ඇස්තමේන්තුද සමඟ තමන් වෙත කඩිනමින් ඉදිරිපත් කරන්නැයි උපදෙස් දුන්නේය. එම වාර්තා ලැබීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා විදේශාධාර ලබා ගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු රෝහල් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    තංගල්ල රෝහලේ පවතින අධික තදබදය හා භුමියේ ප්‍රමාණවත් ඉඩ නොමැති වීම පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රෝහල අසලම පිහිටි තැපැල් කාර්යාලය පවත්වාගෙන  යන ගොඩනැගිල්ල පිහිටි  අක්කර ගණනක් විශාල භූමිය පවරා ගැනීම තුළින් තංගල්ල රෝහල දියුණු කළ හැකි බවය.
     
    තංගල්ල නව නගර සංවර්ධනය කඩිනමින් ක්‍රියාත්මක කරන බව මෙහිදී සඳහන් කළ දිලිප් වෙදආරච්චි මහතා නව නගර සැලැස්ම ලබන මසට පෙර ලැබීමට සලස්වන්නැයි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට අමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නේය. තංගල්ල නව නගර සැලැස්මට අනුව නව බස් නැවතුම්පලක් හා වෙළඳ සංකීර්ණයක් ඇතුළු පහසුකම් රැසක් සැලසීමට නියමිතය.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya