අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් අවම කිරීමට රජයේ අදාළ අංශ උපරිම ලෙස අවධානය යොමු කර ඇත

    ජනවාරි 27, 2020

    කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් අවම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු රජයේ අදාළ අංශ උපරිම ලෙස අවධානය යොමු කර ඇති අතර, ජනතාවද මේ සම්බන්ධයෙන් ආරක්ෂාකාරී ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

    මුල්වරට, මධ්‍යම චීනයේ හුබෙයි පළාතට (Hubei Province) අයත් වූහාන් (Wuhan) නගරයෙන් වාර්තා වූ මෙම වෛරසය කොරෝනා නම් වූ වෛරස් ගණයට ( Corona Virus) අයත් පෙනහළු රෝගකාරක වෛරසයක් ලෙස හඳුනාගෙන ඇත. මේ වන විට චීනයේ නගර කිහිපයකට මෙම වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් සංචාරක සීමා පණවා ඇති අතර, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය, තායිලන්තය සිංගප්පූරුව වැනි රටවලින් මෙන්ම එක්සත් ජනපදයෙන්ද මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනාගෙන ඇති බැවින් ලෝකය පුරා රටවල් මේ පිළිබඳ දැඩි අවධානයකින් හා පෙරසූදානම් වීමකින් පසුවේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ හා වෙනත් අදාළ ආයතන මේ වනවිටත් මෙම රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ සිය උපරිම අවධානය යොමු කර ඇත.


    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිදුකළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගැනීම අනවශ්‍ය නමුත් ඒ සම්බන්ධ ආරක්ෂණ පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි.


    කොරෝනා වෛරසය පිළිබඳ මූලික හැඳින්වීමක් සිදුකරමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ කොරෝනා වෛරස් කාණ්ඩයට අයත් මෙතෙක් හඳුනාගත් වෛරස ලෙස මැදපෙරදිග ශ්වසන සහලක්ෂණය හා සාර්ස් හැඳින්විය හැකි බවයි. එම කාණ්ඩයට අයත් වන මෙම නව කොරෝනා වෛරසය විසින් අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හා ශ්වසන අපසහසුතා යන රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ.

    මෙහිදී ශ්‍රී ලංකාවට ඇති අවදානම වන්නේ රෝගය වාර්තා වී ඇති රටකින් යම් ආසාදිත පුද්ගලයකු මෙරටට පැමිණීම බව ප්‍රකාශ කළ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම අවදානම අවම කරගැනීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවද සඳහන් කළේය. ඒ අනුව, ගුවන් මගීන් ගුවන් යානය තුළදීම මේ පිළිබඳ දැනුවත් කරන අතර, යම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන පුද්ගලයකු සිටී නම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටුවා ඇති විශේෂ ඒකකය වෙත වාර්තා කරන මෙන් උපදෙස් දෙනු ලැබේ.


    එහිදී, රෝග ලක්ෂණ සහිත මගීන් සොයා ගැනීම සහ පරීක්ෂා කිරීම සඳහා අධෝරක්ත තාප ප්‍රතිරූපණ ස්කෑන් යන්ත්‍ර (Infrared Thermal Image Scanners) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපනය කර ඇත. එවැනි මගීන් වාර්තා වුවහොත් වහාම කොළඹ ජාතික උණ රෝහලට වැඩිදුර කටයුතු සඳහා යොමු කරනු ලැබේ.


    මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ශ්වසන රෝගයන්ට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් හතරදෙනෙකු (04) වාර්තා වී ඇති අතර, ඔවුන් පිළිබඳ වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. වුහාන් හි අධ්‍යයන කටයුතු වල යෙදුණු ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු හා තවත් ශ්‍රී ලාංකිකයකු ද චීන ජාතිකයින් දෙදෙනෙකුද මෙම පිරිසට අයත් වන නමුත් මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය ශ්වසන රෝගයකින් හට ගත් ඒවා වුවද විය හැකි අතර, මේ වන තෙක් ඔවුන් නියත වශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් බවට තහවුරු කර නොමැත. යම් තහවුරු වීමක් සිදුවුවහොත් අදාළ සියලු පසුවිපරම් කටයුතු හා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ සූදානම් ව සිටින බවද හෙතෙම අවධාරණය කළේය.


    මෙහිදී, විශේෂයෙන්ම වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත්ව හා අවධානයෙන් සිටීම වැදගත් බව ප්‍රකාශ කළ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදාළ රෝග ලක්ෂණ සහිත රෝගියකු ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් ඔවුන්ගේ මෑතකාලීන ගමන් විස්තරය විමසා බැලිය යුතු බව පෙන්වා දුන්නේය. දැනට ඇති සාධක අනුව, මෙම වෛරසය ශරීරය තුළ සක්‍රියව පැවතීමට හැකි කාල සීමාව සති 02 ක් පමණ වන බැවින් විදේශයක සිට පැමිණ සති 02 ක් පමණ කාලයක් තුළ වුවද රෝග ලක්ෂණ පහළ වීමට ඉඩ ඇති නිසා වෛද්‍යවරු මෙන්ම ජනතාව මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් පෙන්වා දෙනු ලැබේ.


    ඒ අනුව මෙම රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ජනතාවටද විශාල වගකීමක් පැවරෙන අතර, රෝගය වැළඳීමේ අවදානම අවම කරගැනීම සඳහා පහත දැක්වෙන ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම සුදුසුය.


    එනම්,
     කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ වැඩිහිටියන් ජනාකීර්ණ ප්‍රදේශවල ගමන් කිරීම අවම කිරීම හා සෙසු පිරිස් වුවද ජනාකීර්ණ ප්‍ර‍දේශවල අනවශ්‍ය ලෙස කාලය ගත නොකිරීම.
     උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් ආසන්නයේ ගැවසීම අවම කිරීම.
     කහින විට සහ කිවිසුම් යන විට ලේන්සුවකින් හෝ මුහුණ ආවරණය කර ගැනීම, ටිෂ්‍යු කඩදාසි භාවිතා කිරීම හා නිසිලෙස බැහැර කිරීම / අවශ්‍යතාව මත මුඛ ආවරණ භාවිතය.
     දෑත් නිරන්තරයෙන් සබන් යොදා සෝදා පිරිසුදුව තබා ගැනීම, Hand sanitizer වැනි විෂබීජනාශක සේදුම් ක්‍රම භාවිතය.
     නිතර නාසය සහ මුහුණ ඇල්ලීමෙන් වැළකීම.


    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරන පරිදි මෙම රෝගයෙන් ආරක්ෂා වීමට අදාළ සියලු තාක්ෂණික හා විද්‍යාත්මක පරීක්ෂණ හා සෙසු කාර්යයන් අදාළ අංශ විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතරම මේ හා සම්බන්ධ පුළුල් අධ්‍යයනයක්ද ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව, මේ හා සම්බන්ධ වත්මන් තත්වය පිළිබඳව ඉදිරියේදීද ජනතාව නිසිපරිදි දැනුවත් කිරීමට නොපමාව කටයුතු කරන බව රජය විසින් දන්වා සිටිනු ලැබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.