කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමිනි.
නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබාදීමට චීනයේ EXIM බැංකුව එකඟ වී තිබිණි. එම එකඟත්වයට අදාළ ව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වන දින චීනයේ CEIEC සහා ALIT යන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.
පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බව ය. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම් දී තිබේ. ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එනමින් කිසිදු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැර රටකින් සොයා ගැනීමට නොහැකි විය. එකී සමාගමට අදාළ ව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.
මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන් ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදු වූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ. ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබාදෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා විය. එහෙත් ඒ වන විටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයක ම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළ ව ද ශ්‍රී ලංකාව එකී ණය වාරිකය වන රුපියල් කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයට ම වාර්ෂික ව ගෙවීමට සිදුව ඇත. එමෙන් ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල් කෝටි 120ක මුදලක් මේ වන විටත් ගෙවා තිබේ.
මෙවන් පසුබිමක නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට දායක්තවයක් ලබාදී තිබේ.
ඒ අනුව ඉදි කෙරුණු නෙථම් කුලුනෙහි පාදමේ විශ්කම්භය මීටර් 45න් යුතු වන අතර, මීටර් 356 ක උසකින් යුක්ත ය. කුලුනේ ප්‍රධාන අංගය සන්නිවේදනය වන අතර කුලුනේ ඉහළ ඉදිකර ඇති ඇන්ටනා ආවරණයේ මුළු දිග මීටර් 90ක් පමණ වේ. එම ඩිජිටල් ඇන්ටනාව උතුරට කි.මි. 60ක් හා දකුණට කි.මි. 60 සහ නැගෙනහිරට කි.මි. 50 හා බටහිරට කි.මි. 15ක් ආවරණය කෙරේ. මින් රූපවාහිනී සමාගම් 20 ක් ගුවන් විදුලි එෆ්.එම්. විකාශන සමාගම් 50ක් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සමත් වේ.
මෙම කුලුන ඉදිකිරීමේ මූලික සැලසුම් 2008 වසරේ දී සැකසෙන අතර 2012 දී එහි ඉදිකිරීම් ආරම්භ කළ අතර ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකත්වය මොරටුව විශ්ව විද්‍යාලය වෙතින් ලැබිණි.ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව, කොන්ක්‍රීට් තාක්ෂණය, උස් ගොඩනැගිලි කම්පන අධ්‍යාපන විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවල නිපුණතා සහිත ශ්‍රී ලාංකීය විද්වතුන්, ඉංජිනේරුවන් 70ක වඩා මේ සඳහා දායක වූ අතර රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ඉංජිනේරු, සිසු සිසුවියන් සිය ගණනකට ක්ෂේත්‍ර පුහුණුව ලබාගැනීමට අනගි අවස්ථාවක් ද මෙම නිමැයුම උදා කළේ ය.
PMD