අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස සිහිනය සැබෑ කර ගැනීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රම 03ක්

    ජූලි 26, 2019

    තමන්ටම කියා නිවසක් නොමැති පුද්ගලයන්ට නිවසක් තනා ගැනීම සඳහා රජය මගින් නිවාස ණය යෝජනා ක්‍රම 03ක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හඳුන්වාදී ඇත. සිහින මාළිඟා, හෝම් ස්වීට් හෝම් හා සොදුරු පියස යනු එම ණය යෝජනා ක්‍රම ත්‍රිත්වයයි.


    “සිහින මාළිඟා” නිවාස ණය යෝජනා ක්‍රමය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියුක්තිකයන් ණය ලබා ගැනීමට සුදුසුකම් ලබන අතර, ඒ සඳහා අදාළ විදේශ නියුක්තිකයා විසින් ලංකාවේ ක්‍රියාත්මක ඕනෑම බැංකුවක් වෙත මුදල් ප්‍රේෂණය කර තිබිය යුතුය. නව නිවසක් ඉදිකිරීම, පවත්නා නිවස අලුත්වැඩියා කිරීම, නව නිවසක් මිලදී ගැනීම හෝ නිවාස සංවර්ධන යෝජනා ක්‍රමයකින් නිවාස ඒකකයක් මිලදී ගැනීම, ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීම හා නිවසක් මිලදී ගෙන අලුත්වැඩියා කිරීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් ලබා ගත හැකිය.


    3.46% ක ඉතා අඩු පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 10ක් දක්වා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගත හැකිය. වසර 02ක සහන කාලයක් ද සමඟ මෙම ණය පියවීමට වසර 15ක් හිමිවේ. ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ප්‍රතිලාභීන්ට ණය ලබා ගැනීමේ හැකියාව ඇත.


    රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ රැකියාවල නියුතු මාසික ආදායම රුපියල් 15,000ට අඩු මධ්‍යම පන්තිකයන් සඳහා “හෝම් ස්වීට් හෝම්” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. 6%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 10 දක්වා ණය ලබාගත හැකිය. ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව හා ලංකා බැංකුව හරහා ණය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ වෙනත් පෞද්ගලික නිවාස ඉදිකරන ආයතන වල නිවාස යෝජනා ක්‍රමයකින් පළමුවරට නිවසක් මිලදී ගැනීම, පෞද්ගලික නිවාස ඉදිකරන්නන්ගෙන් තනි නිවසක් මිලදී ගැනීමට හෝ පදිංචිය සඳහා පළමු නිවස ඉදිකිරීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගත හැකිය.
    තම නිවස පුළුල් කිරීමට හෝ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන වර්ග අඩි 1,500ට අඩු බිම් ප්‍රමාණයකින් යුතු නිවාස හිමියන්ට “සොඳුරු පියස” ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 02ක උපරිමය දක්වා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ණය ලබා ගත හැකිය.

    විශේෂ මාධ්‍ය ඒකකය
    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය - අනුරාධපුරය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.