අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නබි නායකතුමන්ගේ ජන්ම දින සැමරුම ජනපති, අගමැති නිකුත් කළ නිවේදන

    නොවැම්බර් 20, 2018

    ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනය

    නබිතුමන්ගේ ඉගැන්වීම වූයේ කිසිදු පුද්ගලයකු තවත් පුද්ගලයකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස්වන්නේද පහත්වන්නේද නැති බවය. එසේම සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බවත් නබිතුමන් ලොවට දේශනා කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත් නබිනායක දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

    ජනාධිපතිතුමන් නිකුත් කළ එම පණිවිඩය මෙසේ ය  

    “ශුද්ධ වූ කුරානයට අනුව විශ්වයේ ඇති සෑම වස්තුවක් ම මවා ඇත්තේ යම් අරමුණක් උදෙසා ය.

    මිනිසා මවා ඇත්තේ ද යම් අරමුණක් ඉටුකිරීම පිණිස ය. ඒ අරමුණ ඉෂ්ටප්‍රාප්ත කිරීමට කලින් කලට පත් කළ නබිවරුන් අතුරෙන් අවසන් වරට මෙලොවට පැමිණි නබිවරයා මුහම්මුද් නබිතුමාණෝ ය. එතුමාගේ ඉගැන්වීම වූයේ කිසිදු පුද්ගලයකු තවත් පුද්ගලයකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස් වන්නේ ද පහත් වන්නේ ද නැති බව යි. සෑම මිනිසකුට ම සමාන අයිතියක් ලැබිය යුතු බව නබිතුමාණෝ දේශනා කළහ.

    ගැහැනු ළමයකුගේ උපත ශාපයක් ලෙස සැලැකූ යුගයක මුග්ධ ජනයා විසින් බිලිඳියන් උපන් පසු පණ පිටින් වළලා දමන ලදී. එහෙත් වැඩි කල් නොගොස් කාන්තාවන්ගේ ජීවන අයිතිය දිනාදීමට නබිතුමාණන්ට හැකි විය.

    මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබිතුමා, සූරාකෑමට එරෙහි විය. දහදිය වේළෙන්නට පෙර කම්කරුවනට හිමි වේතන අඩු නො කොට ලබාදිය යුතු යැයි එතුමා කීය. ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග හා මිනිසත් බව වෙනුවෙන් කළ කැප කිරීම්, එකිනෙකා අතර භේදය හා වෛරය වගා දිගා වු මෙකල අප සියල්ලන්ගේ පරමාදර්ශයට යෝග්‍ය ය.

    සියලු සත්ත්වයනට ආදරය දැක්වීමේ නබිතුමාණන්ගේ දර්ශනය අප සැමදෙනාගේ ම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපැයීමට හේතු වේවා යි පවසමින් එතුමාගේ මේ වාර්ෂික ජන්මෝත්සව දිනයේ හෘදයාංගම ව ශුභ ප්‍රාර්ථනා කරමි.

    ශ්‍රී ලාංකේය මුස්ලිම් සහෝදර ජනතාවට මෙන් ම ලෝකවාසී ඉස්ලාම් බැතිමතුනට ද මාගේ ගෞරවය හා ප්‍රණාමය පළ කරමි.

    අග්‍රාමාත්‍යතුමා නිකුත් කළ නිවේදනය

    ශ්‍රී ලංකාවාසී ඉස්ලාමීය බැතිමතුන් ආගමික වතාවත්වල යෙදෙමින් දුප්පතුන්ට පිහිට වෙමින් නබිතුමාගේ ඉගැන්වීම් මෙනෙහි කරමින් මිලාඩ් උන්-නබි දිනය සමරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය නබි දිනය වෙනුවෙන් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයෙන් කියා සිටී.

     

    අගමැතිතුමාගේ පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

    ශුද්ධ වූ මොහොමඩ් නබිතුමාගේ උපන්දින සංවත්සරය සමරන සියලුම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට මාගේ උණුසුම් ශුභාශිංසන එක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාවාසී ඉස්ලාමීය බැතිමතුන් ආගමික වතාවත්වල යෙදෙමින්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබිතුමාගේ ඉගැන්වීම් මෙනෙහිකරමින් මේ දිනය සමරයි.

    ලෝකයේ ඉස්ලාමීය රටවල් ජාත්‍යන්තර සංවිධාන තුළ කවදත් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා ඇත. අපට ලබාදුන් ඒ අන්තර්ජාතික සහයෝගයට කෘතඥතාවය ප්‍රකාශ කිරීමටත්, එම රටවල සියලුම ඉස්ලාමීය බැතිමතුන් වෙත මේ සුබ දිනයේදී මාගේ සුබපැතුම් එක් කිරීමට කැමැත්තෙමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.