අගෝස්තු 23, 2019
tami eng youtube  twitter facebook

    ඩෝල්ටන් අල්විස් නිර්මාණවේදියාණන් දැයෙන් සමුගෙන තිස් දෙවසරයි

    අගෝස්තු 02, 2019

    සසර වසන තුරු, රන් දහදිය බින්දු, නිවහල් සිතුවිලි, උඩගු ලියන් ගොතා බදින, ආශාවේ මල් වැටෙන් එබී, නීර වරල නිල් චාමර පවන් සලන්නී, එගොඩහ යන්නෝ, අවසන් ලියුමයි ආදී රසික හදවත්හි නොමැකෙන සනිටුහන් තැබූ ගීත රැසක් බිහි කරනුයේ ඩෝල්ටන් අල්විස් නම් ඔහුගේ පන්හිදෙනුයි.

    වර්ෂ 1928 දෙසැම්බර් 07 වනදා බෙන්තරදී උපත ලබන දේවගේ දොන් රිචඩ් ඩෝල්ටන් අල්විස්, කලාකරුවෙකු ලෙස සිංහල ගීත සාහිත්‍ය උදෙසා සිදුකල මෙහෙවර අති මහත්. පසු කලෙක කොළඹට සංක්‍රමණය වන ඩෝල්ටන්, වර්තමානයේ දෙමටගොඩ අනුරුද්ධ බාලිකාව ලෙස හදුන්වන පාසලෙන්ද පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරා පළමු වෘත්තිය ලෙස චිත්‍රකර්ම ගුරුවරයෙකු වශයෙන් පත්වීම් ලබනවා.


    පසු කලෙක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස සේවය කරමින් පංච මදුර, රසබිංදු, විජය ගීත වැනි වැඩසටහන් රැසක් සදහා ඔහු නිෂ්පාදනයෙන් සිය දායකත්වය ලබාදෙනවා. කවියෙකු, ගීත රචකයෙකු ලෙස ජනතා ප්‍රසාදය දිනා සිටි ඩෝල්ටන්ගේ ඇතැම් කවි අදටත් මනාව ගැලපෙනවා.


    හදවත උඹ මගෙන් අවි ඉල්ලන්න එපා
    මේ හද එළිය ඇති ගිනි දල්වන්න එපා
    කවි ලියනා මගෙ අත අල්ලන්න එපා
    සාමයෙ බිළිදු නිදි ඇද හොල්ලන්න එපා.


    ඩෝල්ටන් අල්විස් නිර්මාණකරුවාගේ නිර්මාණ සදහා වස්තුවිෂයන් බොහෝ පුළුල් පරාසයක විහිදෙනවා. ආදරය, විරහව ගැන පමණක් බොහෝ ගීත ලියවෙන අද වන් යුගයක මෙම තේමාවන්ට පමණක් සීමා නොවී ඩෝල්ටන් අල්විස්ගේ පන්හිදෙන් දේශාභිමානී ගීත රැසක්ද බිහි වෙනවා. එසේ බිහිවූ වටිනා ගීතයක් ලෙස සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා ගීතය දැක්විය හැකියි.

    කිවිදෙකු ළයේ ලේ තැවරුණ හදපානේ
    සිතුවිලි ලදුන් ඇවිදින්නට යනවානේ
    රන් වන් තුඩින් කවි ලියැවෙන මගෙ පෑනේ
    අවසන් කවිය අවසන් නැත අවසානේ


    මෙම සහෘද නිර්මාණකරුවාගේ නිර්මාණ රසය අදටත් අවසන් නොවුණත් ඔහු අප අතරින් වියෝ වී අදට වසර 32ක් වෙනවා. ඔහු 1987 අගෝස්තු මස 01 වෙනිදා දිනක සිය පන්හිදට විවේකය ලබාදෙන්නේ ඔහුගේ නිර්මාණ වලට
    ඇල්ම දක්වන බොහෝ දෙනෙකුගේ සිතට ශෝකයක් එකතු කරමින්. ඔහුගේ නිර්මාණ වලට ඇලුම් කරන සුවහසක් සහෘදයන්ගේ එකම පැතුමත් සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා යනුවෙනුයි..


    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya