Print this page

වාර්තා නාට්‍ය එළිදැක්වීමේ උළෙල මැයි 24 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ශ්‍රවණාගාරයේදී

මැයි 16, 2018

2015 ජනවාරි 8 දින දේශපාලන වශයෙන් මෙරට ඇති වූ නැවුම් පිබිදීමත් සමඟ ජනතාව අපේක්ෂා කළ අර්ථාන්විත වෙනස යථාර්තයක් බවට පත් කිරීම සඳහා හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ හා කොමිෂන් සභා ස්ථාපනය කොට බලාත්මක කිරීම සුවිශේෂි ජයග්‍රහණ වේ.

මේ වනවිට ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ව්‍යුහාත්මක හා පැහැදිලි වර්ධනීය බවක් ස්ථාපිත වී ඇත. එහි පරම අයිතිය ජනතාවට භුක්ති විදිමට හා ප්‍රතිලාභ ලැබීමට නම් ඒ පිළිබඳ ජනාතාව මනා ලෙස දැනුවත්විය යුතු වේ. ඒ අනුව ජනතාව දැනුවත්කිරීමේ එක් පියවරක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ද මගපෙන්වීම යටතේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කිරීම පිළිබද වාර්තා නාට්‍ය මාලාවක් නිෂ්පාදනය කර ඇත.

වාර්තා නාට්‍ය 10 කින් සමන්විත වන මෙම නාටය ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කිරීම, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය, මාධ්‍ය නිදහස යථාර්ථයක් බවට පත්කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා බලාත්මක කිරීම වැනි තේමා යටතේ රජය විසින් සිදුකරන විවිධ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ප්‍ර‍තිසංස්කරණ කටයුතු හරහා ජනතාව වෙත සෘජු හා වක්‍රාකාරයෙන් ලැබෙන ප්‍ර‍තිලාභ මෙමගින් අවධාරණය කර ඇත.

මෙම වාර්තා නාට්‍ය රංග බණ්ඩාරනායක, සංතුස ලියනගේ, සුසිරන් ද සිල්වා, නලින් මාපිටිය, මොහෙන්ජි රංගනාථ, දුමින්ද විදානගමච්චිගේ, සුලෝචනා වීරසිංහ, සුගත් බණ්ඩාර, අතුල පීරිස්, රවී අබේවික්‍රම යන ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන් විසින් කලාත්මකව නිර්මාණය කර ඇත.

මෙම වාර්තා නාට්‍ය එළිදැක්වීමේ උළෙල 2018 මැයි 24 වන දින පස්වරු 3.00 ට කොළඹ 05, පොල්හේන්ගොඩ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ දෙවන මහළ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.