Print this page

“සසුනෝදය” යටතේ පුරාණ රජමහා විහාරහාරක සංඝාවාසයට මුල්ගල තැබේ

මාර්තු 12, 2018

කටුපොත පොල්පිටිය අග්‍රබෝධි පුරාණ රජමහා විහාරයේ සංඝාවාසය සඳහා මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) සිදු කෙරිණි.

සංඝාවාසය ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “සසුනෝදය” වැඩසටහන යටතේ ලබා දී තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමී ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව “පින් බිම් 12,000ක් යළි අස්වද්දන මහා ජාතික මෙහෙවර” යන තේමාව පෙරදැරිව “සසුනෝදය” වැඩසටහන ආරම්භ කෙරිනි. මේ යටතේ පසුගිය වසරේ දී  දිවයින පුරා විහාරස්ථාන දහසක (1,000) ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ආධාර මුදල් ලබා දීම සිදු විය.

මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පරිපාලන සහ මුල්‍ය කටයුතු විධිමත් කිරීමට පියවර ගෙන ඇති බැවින් මෙරට ඓතිහාසික ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයින්ට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය කරගැනීමට හැකි වූ බව පවසන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ අනුව විහාරස්ථාන ප්‍රතිසංස්කරණ සහ සංරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීමේ “සසුනෝදය”  වැඩසටහනට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකි වූ බව ද  පෙන්වා දුන්නේය.
 

“සසුනෝදය” වැඩසටහනට රටේ සියලු පළාත් නියෝජනය වන පරිදි විහාරස්ථාන තෝරාගැනීම සිදුකරනු ලබන අතර මෙම වසරේ දී ද විහාරස්ථාන 1,000 ක ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි.