මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය 29 දා සිට

    සැප්තැම්බර් 27, 2017

    ජාතික කලා මහෝත්සවය - 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ලබන 29,30 හා ඔක්තෝබර් 01 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

    දීප ව්‍යාප්තව ඇති සංස්කෘතික මධ්‍යස්ථාන ජාලයේ සේවය ලබන දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් අගය කරමින් ඔවුනට වේදිකාවක් තනාදීමත් හා ඇගයීමට ලක් කිරීමත් එය සමාජ ගත කිරීමේ අරමුණින් මෙය පැවැත්වේ.

    ජාතික කලා මහෝත්සවය වැඩසටහන් රැසකින් සමන්විත වන අතර එහිදී  මහාචාර්ය සිරිමා කිරිබමුණෙ( සාහිත්‍ය කලාව), තෙලිවත්තේ ජෝෂප් (සාහිත්‍ය කලාව), නාමෙල් වීරමුණි(රංගනය), සෝමසිරි ඉලේසිංහ (සංගීත), පරවාහැර සෝමතිලක ( නර්තනය හා ශාන්ති කර්ම) යන දේශනේතෘ සම්මානලාභීන් 5 දෙනකු ඇගයීමට ලක් කෙරේ.

    ලබන 29 වන දින ආරුරන්, ලබන 30 වන දින අනුර ජයසිංහ, ඔක්තෝබර් 01 වන දින වී.හේමපාල යන කලාකරුවන් 3 දෙනකු මෙම තෙදින තුළ ඇගයීමට ලක් කරනු ලැබේ.

    එමෙන් ම රාජ්‍ය සේවකයන් තුළ පවතින නිර්මාණාත්මක කුසලතාවන් එළි දැක්වීම උදෙසා අන්තර් රාජ්‍ය සේවා නිර්මාණ තරගාවලියක් ද පළාත් නවය නියෝජනය කරමින් වෙළද කුටි 09ක් ද විවිධ නර්තන ප්‍රසංග, ගායන ප්‍රසංග, ජන ගී කණ්ඩායම්, රසවින්දන වැඩසටහන්, කෙටි නාට්‍ය,වැඩමුළු, පොත් ප්‍රදර්ශන, අධ්‍යාපනික වැඩසටහන්,කෙටි චිත්‍රපට ප්‍රදර්ශන ද  පැවැත්වේ.

    මෙහිදී සම්මානලාභියෙක් සඳහා මුදල් ත්‍යාග ද පිරිනමන බව අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.සේනානායක මහතා පැවසීය.

    ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ(26) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමිනි.

    මේ අවස්ථාවට වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් දිළුම් දයාරත්න, නර්තන උපදේශක රවිබන්දු විද්‍යාපති,  සහකාර ලේකම් බුද්ධික දිසානායක සහ  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සුධීර නිලංග යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙය සංවිධානය කරනු ලැබේ.

    මෙම ජාතික මහෝත්සවය සඳහා කතානායක කරු ජයසූරිය මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා,  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya