අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සංචාරක උදාව" ප්‍රදර්ශනය අද ඇරඹේ

    ජූනි 27, 2014

    දේශීය සංචාරක කර්මාන්තය නැංවීම සඳහා වන "සංචාරක උදාව - 2014" ප්‍රදර්ශනය හා සම්මේලනය, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (27) ආරම්භ වෙයි.


    සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් ජාලගත කිරීමේ අරමුණින් පවත්වන මෙම ප්‍රදර්ශනය හා සම්මේලනය "A Tourism Products Meet Mart" යන්න තේමාව කරගනිමින් දින දෙකක් පැවැත්වේ.මෙය ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය (SLAITO) හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එස්. ජයවීර මහතා පවසයි.


    මෙම ප්‍රදර්ශනය තුළින් දේශීය සංචාරක කර්මාන්තයට අදාළ භාණ්ඩ හා සේවා සියල්ල එකම වේදිකාවක දී දැකගත හැකි වේ. එහි මූලික අභිප්‍රාය වන්නේ විශේෂිත ක්‍රමෝපායන් ඉදිරිපත් කරන්නා වූ සුළු, මධ්‍ය පරිමාණ හා ඒක පුද්ගල ව්‍යාපාර වෙළඳුන් නිර්මාණය කිරීම සහ සවිබල ගැන්වීමයි.

    මේ මඟින් කුඩා හා මධ්‍ය පරිමාණයේ සංචාරක සේවා සපයන්නන් හා ජාලගතවී ඔවුන් සමඟ සබඳතා ඇති කර ගැනීම තුළින් සංචාරක ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල්කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර, ගමනාගමන පහසුකම් සංවිධානය කිරීම, නවාතැන් පහසුකම් ලබාදීම, විදේශ භාෂා හැකියාවන් සහ විනෝදාස්වාද කටයුතු කෙරෙහි දක්ෂතා ඇති පුද්ගලයන් ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනයක් අපේක්ෂා කරයි.

    විවිධ හෝටල්, කර්මාන්ත සේවා සපයන්නන් හෝ විවිධ සැපයුම්කරුවන් සඳහා තම කර්මාන්ත අවශ්‍යතාවන් සපුරා ගැනීමට සහ විසඳුම් එකම වහළක් යටින් ලබාගැනීමට හැකි අවස්ථාවක් වන මේ ප්‍රදර්ශනය හා සම්මේලනය වෙළෙඳ කුටි 200කින් සමන්විත වේ. සංචාරක සේවා සපයන්නන්ගේ විශේෂ මණ්ඩපයකින් ද එය සමන්විත වීම විශේෂත්වයකි.


    පසුගිය 2011 වසරේ දී ආරම්භ කරන ලද මේ "සංචාරක උදාව - 2014" ප්‍රදර්ශනය හා සම්මේලනය මෙවර පවත්වනුයේ සිවුවැනි වතාවටයි. එය සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ පෙන්වන්නක් ද වේ.මේ ප්‍රදර්ශනය පැවැත්වෙන පළමු දිනය කර්මාන්තකරුවන් වෙනුවෙන් පමණක් වන අතර දෙවැනි දිනය මහජනතාවට ද විවෘත වෙයි. මේ ප්‍රදර්ශනය සඳහා දකුණු ඉන්දීය හා මාලදිවයින් නවාතැන් හා සේවා සපයන්නන් ද සහභාගි වීමට නියමිතයි.

    පසුගිය 2009 වසරේදී ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් නිදහස ලැබීමත් සමඟ සංචාරක කර්මාන්තයේ සීග්‍ර දියුණුවක් දක්නට ලැබෙන අවස්ථාවක එම වසරේ දී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 349ක් පමණ වෙයි. එය 2011 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,700ක් වී තිබේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya