Print this page

ජාතික වෙසක් උත්සවයට සූදානම් වන වට්ටාරම

අප්‍රේල් 21, 2017

මෙම වසරේ ජාතික වෙසක් උත්සවය කෑගල්ල වට්ටාරම විහාරස්ථානය කේන්ද්‍රව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු  මේ වන විට කඩිනමින් සංවිධානය කෙරෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මැයි මස 7 වන දින සිට 12 වන දින දක්වා වෙසක් සතියේ පිංකම් පැවැත්වෙන අතර මැයි මස 9 වෙනි දින ප්‍රධාන උත්සවය පැවැත්වේ.

තෛයිනිකායික මහ නාමිහිවරු ඇතුළු මහා සංඝරත්නය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් ප්‍රධාන උත්සවය මැයි 9 දින පස්වරුවේ දී පැවැත් වේ.

ජාතික වෙසක් උත්සවය පැවැත්වීම නිමිත්තෙන් මේ දිනවල වට්ටාරම රජමහා විහාරයේ යටිතල පහසුකම් ඇතුළු සංවර්ධන කටයුතු  සිදු කෙරෙයි.

ඒ අතරින් දෙදහසකට පමණ එකවර සිටිය හැකි ධර්ම ශාලාවේ කටයුතු කඩිනමින් යුධ හමුදාව විසින් මේ වනවිට අවසන් කරමින් පවතී .පැරණි පොත්ගුල ද පුරා විද්‍යා දෙපාර්මේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කරනු ලබයි. විහාර භූමියේ අභ්‍යන්තර මාර්ග සංවර්ධනයට පියවර ගෙන ඇති අතර  මේ වනවිට විහාරස්ථානයේ සිට චෛත්‍ය දක්වා ඇති මාර්ග කුට්ටි ගල අතුරා සංවර්ධනය කර තිබෙයි.

මීට සමාන්තරව කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ දේවාලේගම සිට කරදන පාලම දක්වා කොටස කාපට් අතුරු සංවර්ධන කර අතර විහාරස්ථානය අසල රථ ගාලේ ඉදිකිරීම් ද සිදු කෙරෙමින් පවතී.

වෙසක් සතිය තුළ විහාරස්ථානය කේන්ද්‍ර  කොට ගෙන වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරයේ භාරකාර වෑවල සමිත හිමියෝ පවසති.