අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "යාපා පටුනයි දහම් අමාවයි" වෙසක් කලාපය යාපනයේදී

    මැයි 08, 2014

    බුදු තෙමඟුල සිහිකරමින් යාපනය ආරක්‍ෂක සේනාව  විසින් පස්වන වරටත් යාපනය නගර මධ්‍යයේ  "යාපා පටුනයි දහම් අමාවයි" යන තේමාව යටතේ දර්ශනීය වෙසක් කලාපයක් මේ මස 14, 15 සහ 16 යන දිනවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.


    වර්ණවත් විදුලි බුබුළු 60000කින් ආලෝකමත් කෙරෙන විශාල තොරණක් මේ මස 14 සිට 20 දක්වා දින 07ක් ප‍්‍රදර්ශනය කෙරේ. විචිත‍්‍ර පහන් කූඩු විශාල ප‍්‍රමාණයක් හා ප‍්‍රණීත ආහාරපාන සහිත දන්සැලකින් සමන්විත වන මෙම වෙසක් කලාපය මගින් ඇතිවන ආගමික සංහිඳියාව තුළින් ජාතික සමඟිය ඇති කිරීමට බලාපොරොත්තු වේ.

    ප‍්‍රථමවරට යාපනයේ තොරණක් ඉදිවන අවස්ථාව මෙය වන අතර, උස අඩි 43කින් හා පළල අඩි 42 කින් යුත් මෙම දැවැන්ත තොරණ නවීන තාක්‍ෂණ ක‍්‍රම යොදා ගනිමින් ආලෝකමත් කෙරේ. විශේෂයෙන් පාසල් සිසුන් හා නව නිර්මාණ පිළිබඳව දැනගැනීමේ උනන්දුවක් දක්වන සියලු ම දෙනා වෙනුවෙන් මෙම නවීන තාක්‍ෂණ ක‍්‍රමය පිළිබඳව අවබෝධයක් ලබාදීම පිණිස ශී‍්‍ර ලංකා යුධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සෙබළුන් විසින් දිවා රාතී‍්‍ර දෙකෙහි තාක්‍ෂණික මෙහෙයුම් මැදිරියක් තොරණ අසල පවත්වාගෙන යනු ලබයි.


    වත්මන් යාපනය ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ ඉදිවන මෙම වෙසක් කලාපයේ දර්ශනීය තොරණ 5 වන ඉංජිනේරු සේවා බලකාය විසින් ඉදිකරනු ලබන අතර, ආරක්‍ෂක සේනාව යටතේ සේවය කරන සියලු ම ඒකකයන්වල සෙබළුන් මෙම වෙසක් කලාපය සාර්ථක කරගැනීමට තම ශ‍්‍රමය කැප කළහ.
     

    1995 වර්ෂයේ යුධ හමුදාව විසින් යාපනයේ සාර්ථක වෙසක් උත්සවයක් පැවැත්වුවද යුධමය වාතාවරණය හේතුවෙන් එය නොනවත්වා කරගෙන යාමට නොහැකි විය. එසේ වුවද 2009 මැයි මස බෙදුම්වාදී ත‍්‍රස්තවාදය අවසන් කර රටට සාමය උදාවීමත් සමඟ ම ආගමික සංහිඳියාව තුළින් ජාතික සමගිය ඇතිකිරීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනාව විසින් 2010 වසරේ  "යාපා පටුනයි දහම් අමාවයි" යන තේමාව යටතේ යාපනය මහජන පුස්තකාලය අවට ප‍්‍රදේශය හා දුරෙයිඅප්පා කී‍්‍රඩාංගණය ආවරණය වන සේ දැවැන්ත වෙසක් කලාපයක් නිර්මාණය කරන ලදහ. ඉන්පසුව වසරක් පාසා යාපනය නගර මධ්‍යයේ සංවිධානය කෙරුණු එම වෙසක් කලාපය නැරඹීමට සියලු ම ආගම්වලට අයත් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් යාපනයේ විවිධ ප‍්‍රදේශවලින් හා දකුණෙන් පැමිණියහ.

    මෙහි තවත් එක් විශේෂ අංගයක් වනුයේ ද්‍රවිඩ හා සිංහල බසින් ගායනා කරනු ලබන වෙසක් භක්ති ගීත සංදර්ශනයයි. යාපනය දමිළ බෞද්ධ සංගමයේ දරුවන්ද, පාසල් සිසු සිසුවියන් මෙන්ම යුධ හමුදා සෙබළ සෙබළියන්ද ගායනයෙන් භක්ති ගීත සංදර්ශනයට දායක වේ. මෙයට අමතරව වෙසක් කලාපය පැවැත්වෙන දිනවල මධ්‍යම රාත්‍රිය දක්වා වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් ප‍්‍රණීත ආහාරපාන සහිත දන්සැලක් ද විවෘතව පවතී.
     
    යුද්ධය නිසා පළුදු වූ උතුර දකුණු සම්බන්ධතාව ආගමික සංහිඳියාව තුළින් යළිත් ශක්තිමත් කිරීමේ අගය වටහාගත් ව්‍යාපාරිකයින් හා දානපතීන් ද තම නොමසුරු ධන පරිත්‍යාගය මේ සඳහා ලබාදුන්හ. යාපනයේ ස්ථාපිත නාවික හමුදාව, ගුවන් හමුදාව හා පොලීසිය මෙන්ම යාපනය මහ නගර සභාව ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතන කිහිපයක් මේ සඳහා සහයෝගය ලබාදෙයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya