අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොකක්ද මේ රබස? රබස මාරාන්තිකයි... දැනුම්වත් වෙමු...

    මැයි 07, 2023

    රබස ඔබට නුහුරු වුණත් රේබීස් කියූ සැනින් බොහෝ දෙනාට සිහිවන්නේ ජලභීතිකාවයි..

    අප වැදගත්යැයි නොසිතන, අපගේ අතින් ගිලිහෙන ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් ජලභීතිකාව වැනි මාරාන්තික තත්ත්වයන්ට බොහෝදෙනා ගොදුරු වෙනවා..

    ජලභීතිකා රෝගය අනිවාර්යයෙන්ම මාරාන්තික රෝගයක්.. නමුත් එය වළක්වාගත හැකියි.. මානව ජලභීතිකාව පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු වර්ධනයක් සිදුවී තියෙනවා..ඒය ප්‍රජා සෞඛ්‍ය ප්‍රශ්නයක්..වසරකට ජලභීතිකාව නිසා පුද්ගලයන් 300ක් පමණ මරණයට පත්වෙනවා.

    ලෝකයේ බොහෝ රට වල වගේම ශ්‍රී ලංකාවේත් ජලභීතිකා රෝගය බහුලවම මිනිසාට බෝවන්නේ සුනඛයන් සපාකෑමෙන්. මීට අමතරව අප ගෙවල් වල ඇතිකරන බළලුන්, හරකුන් වැනි සතුන්ගෙන්ද මේ රෝගය බෝ වෙන්න පුළුවන්. ගෙවත්තේ සිටින මුගටියන්, ඌරු මීයන්, උගුඩුවන් වැනි සතුන්ගෙන්ද ජලභීතිකාව ඇතිවිය හැකියි. කැලෑ සතුන් වන නරින්, වඳුරන්, දඬු ලේනුන්, කැලෑ බළලුන්, උරුලෑවන් වැනි සතුන්ටත් මෙම රෝගය වැළ‌ෙඳන්න පුළුවන්. ඔවුන්ගෙන් මෙම රෝගය මිනිසාට බෝවීමේ හැකියාවක් පවතිනවා.

    මෙම සතුන්ගෙන් අපගේ නිවෙස් වල ඇතිකරන බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන්ට මෙම රෝගය බෝවිය හැකියි. නමුත් නිවෙස් වල දක්නට ලැබෙන ගෙමීයන්ගෙන් මෙම රෝගය බෝවන බවට තවම වාර්තා වී නැහැ. විශේෂ අවස්ථා වලදී හැරෙන්නට මිනිසාගෙන් මිනිසාටද මෙම රෝගය බෝවෙන්නේ නැහැ.

    මෙම රෝගය සුලභව බෝවන්නේ සතෙකු සපාකෑමෙන් වුවද ඊට අමතරව සම මතුපිට ඇති තුවාලයක් මත ආසාදිත සතෙකුගේ ඛේටය තැවරීමෙන්, අපගේ මුඛ කුහරය, නාස් කුහරය, ඇස් ආදියෙහි පවතින ක්ෂේස්මල පටල හරහා හරහා වෛරසය අපගේ ඇඟට ඇතුළු විය හැකියි. එම ක්ෂේස්මල පටල තුවාල වී තිබීම අවශ්‍ය වන්නේ නැහැ.

    ජලභීතිකාව සහිත සතෙකු අපිව ලෙවකෑ අවස්ථාවක තුවාල රහිතනිරෝගී සමක් හරහා වෛරසය ශරීරගත විය නොහැකියි.කෙසේ වුවද සතෙකුගේ ඛේටය අපගේ ශරීරයේ තැවරුනහොත් අනිවාර්යයෙන් සබන් යොදා සෝදා පිරිසිදු කරගත යුතුයි.

    සුනකයෙකු රෝග ලක්ෂණ පෙන්වීමට දින 14කට පෙර වුවද මෙම වෛරසය ඔවුන්ගේ ඛේටයේ තිබිය හැකියි. එමනිසා සුනකයෙකු සපා කෑ අවස්ථාවක එම සත්ත්වයාට රෝග ලක්ෂණ නොතිබුණේ යැයි කිසි විටෙක අඩු තක්සේරුවකට ලක්කළ යුතු නැත. පමා වී හෝ ප්‍රතිකර සඳහා යොමුවීම වැදගත් වනවා.

    මෙම රෝගයේදී සුනඛයින් පෙන්වන රෝග ලක්ෂණ ආකාර 02කට ඉස්මතු වෙනවා. අප සාමාන්‍යයෙන් දන්නා වියරු රබස සහ ගොලු රබස වශයෙනි.

    සතාගේ හැසිරීමේ වෙනසක්, උදාසීන බවක්, උණ ඇති වීම, ජලය සහ ආහාර ප්‍රතික්ෂේප කිරීම, ගිලීමට ඇති අපහසුතාවය, වමනය සහ පාචනය, අධික ලෙස මුඛයෙන් සෙම වැගිරීම, නිරන්තරයෙන් මළපහ හෝ මුත්‍රා කිරීමට තටමන ස්වභාවය, සතා බුරන ශබ්දයෙහි වෙනසක්, මුඛය විවෘතව හනුව පහතට කඩා වැටීම ආදී රෝග ලක්ෂණ ඉහත ආකාර දෙකේදීම දකින්නට පුළුවන්.

    නමුත් වියරු රබස රෝගී තත්ත්වයේදී මෙම සත්ත්වයන් අධික ලෙස රෞද්‍ර වී අධික ලෙස බිරීම, ඇතැම් විට ඉතා බියගුලු ස්වභාවයක් පෙන්වීම, ඉතා නොසන්සුන් සහ කලබලකාරී ස්වභාවයක් පෙන්වීම, අරමුණකින් තොරව ඉබාගාතේ ඇවිද යාම, හමුවන ඕනෑම දෙයක් සපාකෑමට පෙළඹීම මෙන්ම අවසාන අවස්ථා වල වලිප්පුව වැනි ශරීරයේ වෙවුලන ස්වභාවයක්ද ඇතිවිය හැක.

    ගොලු රබසේදී එම සතුන් මෙලෙස රෞද්‍රව කලහකාරී ලෙස හෙැසිරෙන්නේ නැති අතරම ඔවුන් සාමාන්‍යයෙන් සමාජයෙන් ඈත්වී මුළුගැන්වී සිටින අන්දමන්ද ස්වභාවයක් පෙන්නුම් කරයි. සුළු වශයෙන් හෝ සම්පූර්ණ ලෙස ඔවුන්ගේ ගාත්‍රා පණ නැතිවීමක්ද පෙන්විය හැකියි.

    මෙම අවස්ථා දෙකේදීම අවසානයේ සතුන් මරණයට පත්වීම සිදු වන අතරම උගුරේ මාංශපේශීන් අකර්මන්‍ය වීමෙන් ජලය සහ ආහාර ගිලීමේ අපහසුතාවයකට සතුන් මුහුණදෙයි.

    මිනිසුන් තුළ ඇති වන රෝග ලක්ෂණ වශයෙන් සතා සපාකෑ ස්ථානයේ හිරිවැටීමක් හෝ ඉඳිකටු වලින් අනින ස්වභාවයක් සංවේදනය වෙනවා. ඉන්පසු මෙම වෛරසය මධ්‍ය ස්නායු පද්ධතිය කරා ගමන් කළ පසු උණ, හිසරදය, ශරීරයේ වේදනාව, ඇඟපත වේදනාව, වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

    ගිලීමට අපහසුතාවය මිනිසුන් තුළත් දක්නට ලැබෙන අතරම සුළං වැදීමේදී වන අපහසුතාවයක්ද මෙහිදී හටගනී. අවසාන වශයෙන් ව්‍යාකූල තත්ත්වයකට පත්වී මරණයට ලක්විය හැකියි. මෙම මරණ ඉතා වේදනාකාරී මරණ වන අතරම බොහෝ විට මෙම රෝගීන් අවසාන මොහොත දක්වාම යහපත් සිහිකල්පනාවෙන් පසුවෙනවා.

    මෙම රෝගයෙන් අපි වැළකෙන්නේ කෙසේද? සතෙකුගේ සපාකෑමකට පෙර සේම සතෙකුගේ සපාකෑමකින් පසුවද රෝගයෙන් වැළකිය හැකියි. සතෙකුගේසාකෑමකට ලක්වූ පසු එම තුවාලය සබන් සහ වතුර යොදා මිනිත්තු 15ක් පමණ සෝදා පිරිසිදු කරගත යුතුයි. මෙම වෛරසය සබන් මගින් විනාශ කළ හැකි අතරම රෝගය ඇතිවනවාද නැතිද යන කාරණ ශරීරයට ඇතිවන වෛරස් ප්‍රමාණය අනූව තීරණය වෙයි.

    හැකි තරම් වෛරසය විනාශ කිරීමෙන් රෝගය බෝ වීම අවස්ථාව අවම කරගත හැකි වනවා. ඉන්පසු අයඩීන් ද්‍රාවණය හෝ 7% මධ්‍යසාර (සර්ජිකල් ස්ප්‍රීතු) ද්‍රාවණය වැනි විශබීජ නාශකයක් යොදා තව දුරටත් තුවාලය පිරිසිදු කරගත යුතුයි. ඊළගට කළ යුතුවැදගත්ම දෙය වනුයේ මෙම රෝගයට නිවාරක ප්‍රතිකාර ලබාදෙනවාද නැතිද සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට රෝහලක් වෙත හො සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වැදගත් වෙනවා.

    මෙම රෝගයෙන් සිදුවන මරණ බොහෝමයක් සිදු වී ඇත්තේනිවාරක ඖෂධ ලබාගැනීම සඳහා පුද්ගලයන් රෝහල් කරා යොමු නොවීම හේතුවෙනුයි. ප්‍රතිකාර සදහා යන අවස්ථා වලදී හැකිනම් සපා කෑ සතාට අදාලව ඇති එන්නත් වාර්තා රැගෙනයාම වැදගත් වනවා.

    තමා විසින් නිවසේ ඇති කරන සුනකයෙකු යම් පුද්ගලයෙකු සපා කෑ විට වෛද්‍යවරයා වෙත සුනකයාගේ එන්නත් කිරීම පිළිබද කාඩ්පත් ඉදිරිපත් කිරීමට අදාල සුනඛයාගේ හිමිකරු සදාචාරාත්මකව මෙන්ම නීතියෙන්ද බැඳී සිටිනවා.

    ජලභීතිකාව සදහා ලබාදෙන එන්නත් ඉතාම ආරක්ෂිත වන අතර මේවා ගර්භණී කාලයේදී මෙන්ම කිරිදෙන මවුවරුන්ට සහ ළදරැවන්ටද ලබාදෙන අතරම මේවායෙහි අතුරු ආබාධ අවම වෙනවා.

    රෝහලකින් ඔබ ජලභීතිකාව සදහා ප්‍රතිකාර වලට යොමුවී ඒන්නත්ලබාගත හොත් එහි ඉතිරි මාත්‍රා නියමිත කාල වලදී නියමිත දිනට ලබාගැනීමද වැදගත් වෙනවා.

    ගොලු රබස සහ වියරු රබස පිළිබඳව මෙතෙක් ඔබ එතරම් අවධානයක් ලබාදුන්නේ නැතිද? එසේනම් මෙම රබස නොහොත් ජලභීතිකාව පිළිබදව මනා සේ දැනුවත්වී ඉන් ආරක්ෂාකාරී වෙමු..

    මෙම ලිපියට අදාල කරුණු පසුගියදා (03) මාරාන්තික ජලභීතිකා රෝගය වලක්වා ගනිමු යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන එකාර්යංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වසංගත රෝග විද්‍යාඥ අතුල ලියනපතිරණ මහතාගේ කරුණු දැක්වීම ඇසුරෙනි.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya