අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝගී සමක්.... ආකල්පමය වෙනසක්... සම ගැන දැනුම්වත් වෙමු..

    නොවැම්බර් 03, 2022

     

    ලෝක චර්ම සුවතා දිනය එනම් World skin health day එකක් එනම් ලෝක චර්ම සුවතා දිනයක් ලොව තුළ ප්‍රකාශයට පත්කර ඇත්තේ ඇතැම්විට නොදැනුවත්කම නිසා සමට සිදුවන යම් යම් වැරදි පතිකාර සහ වැරදි ක්‍රියාමාර්ග වලට යොමුවීම් ආදිය පිළිබදව නිසි මගපෙන්වීමක් කිරීමටයි.

    ලෝක චර්ම සුවතා දිනය (World skin health day) වෙනුවෙන් වෙන්වූ විශේෂ දිනයක් නොමැති අතර විවිධ රටවල් මේ සදහා විවිධ දින යොදා ගනිමින් සම සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කිරීම සිදු කරයි.

    බොහෝවිට අපි “සම” දකින්නේ බාහිර පෙනුම සම්බන්ධයෙන් අදාල දෙයක් හැටියට පමණයි. නමුත් සමෙන් විශේෂ කාර්යය ගණනාවක් සිදුවෙනවා. සම මගින් ශරීරයේ බාහිර පද්ධති සියල්ලම සමතුළිතතාවයෙන් පවත්වාගෙන යමින් බාහිරත් සමග ඇති සම්බන්ධතාවය මනාව පවත්වාගැනීමට ප්‍රයෝජනවත් වෙනවා.

    එනම් බාධකයක් ලෙස ක්‍රියාත්මක වනවා සේම ශරීරය තුළ පවතින සංකීර්ණ රසායනික ද්‍රව්‍යයන් ඒ ලෙසම පවත්වාගෙන යාම සදහා සම දායක වෙනවා. සම සංවේදන ඉන්ද්‍රියක් වශයෙන් යමක් ඇල්ලීම ආදී කටයුතු සදහා භාවිතා වන අතරම බාහිරින් පැමිණෙන විෂබීජ වලට ආරක්ෂාකාරී ඉන්ද්‍රියක් ලෙසද භාවිතා වෙනවා.

    විෂබීජ වලින් ආරක්ෂා වීමට අමතරව බාහිරෙන් පැමිණෙන රසායනික ද්‍රව්‍ය, භෞතික හානි, සුළු සීරීම්, ඝර්ෂණය වැනි දෑ මෙන්ම විකිරණ වලින් ආරක්ෂා වීමටත් සම  ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. පරිවෘත්තීය සදහාත් යම් ප්‍රමාණයකට සමහර ද්‍රව්‍ය බාහිර නිෂ්කාශනයටත් දායක වන සම හිරු ඒළිය පවතින අවස්ථා වල විටමින් ඩී නිෂ්පාදනයටද දායක වෙනවා. .

    සමෙහි පවතින ගැටලු හේතුවෙන් මෙම ක්‍රියාවන් වල යම් අඩාල වීමක් සිදුවුවහොත් ජීවිත හානිය දක්වා විශාල සංකූලතා වලට පවා හේතුවිය හැකියි. මේ සෞඛ්‍ය නොහොත් සමෙහි නිරෝගී භාවය යනු පෙර සදහන් කළ බහුවිද කියාකාරීත්වයන් නිසි පරිදි පවත්වාගෙන යාමයි නැතහොත් සමෙහි ව්‍යූහයේ සිදුවන වෙනස්කම් නොමැතිව නිසි ක්‍රියාකාරීත්වයෙන් සහ නිසි ව්‍යූහයෙන් පැවතීමයි.

    පුද්ගලයෙකුගේ තමන්ට ආවේණිකව, ජානගතව සහ බාහිර පරිසරය නිසා තමන්ට උරුම වූ සමේ පැහැය නිසි පරිදි පවතීද යන්න සැලකිලිමත් විය යුතුය. පැහැයේ යම් වෙනසක් වේ නම් එවැනි දේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

    සමේ මතුපිට ස්වභාවයේ වෙනසක් වේ නම් එයද සෞඛ්‍යයෙන් බැහැර වීමක් විය හැකියි. සමේ නිසි ව්‍යූහය, නිසි කියාකාරීත්වය, නිසි පැහැයෙන් පැවතීම සහ මතුපිට ස්වභාවය නිසි පරිදි පැවතීම නිරෝගී සමක් ලෙස හැදින්විය හැකියි. සමෙහි හටගන්නා සුළු වෙනසක් (පැහැයේ වෙනසක් හෝ හානියක් නොමැති ගැටිත්තක්) හේතුවෙන් කෙනෙකුට ඇතිවන මානසික බලපෑම ඉතාම අධික විය හැක. පෙනුම පිළිබද ඇතිවන ගැටලුවක් හේතුවෙන් මෙය ඇතැම්විට දරුණු අභ්‍යන්තර රෝගයකට වඩා කෙනෙකුට මානසිකව බලපෑ හැක.

    මෙවැනි සමෙහි විවිධාකාර ගැටලු සදහා ප්‍රතිකාර කිරීම චර්ම රෝග වෛද්‍යවරුන්ගේ කාර්යය වන අතරම මේ වන විට චර්ම රෝග වෛද්‍යවරුන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම, සෑම මූලික රෝහලකම සිටියි. සම සම්බන්ධ ඔ්නෑම ගැටලුවකදී චර්ම රෝග වෛද්‍යවරයෙකු හමුවීම කළ යුතුය.

    නිරෝගී සමක් පවත්වාගෙන යාමට නම් හිරු එළියෙන් ආරක්ෂාකාරී විය යුතු අතර උදේ 09ත් සවස 05ත් අතර පතිත වන ඉතා තීව්‍ර හිරු කිරණ හේතුවෙන් සමට හානි පැමිණිය හැකිය. එමනිසා අවුව තද වශයෙන් පවතින අවස්ථාවන්හිදී ශරීරය වැසෙන ලෙස දිගට ඇදුම් ඇදීමද හිස් වැසුම් සහ කුඩ ආදිය භාවිතයද වැදගත් වෙයි.

    එමෙන්ම හිරු එළියෙන් ආරක්ෂා වීම සදහා නිසි ප්‍රමිතියකින් සකස් කළ ආලේපන වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ යුතුය. පිරිසිදු කිරීමට යැයි සිතා නිරන්තරයෙන් සම සේදීම මගින්ද සමට හානි පැමිණිය හැකිය. මේ හේතුවෙන් හමේ තෙතමනය නැතිවී හම රැළි වැටී වියළීමට පත්විය හැකිය.

    සම වියළි පුද්ගලයින් සමෙහි වියළීම අඩු කරන, ආලේපන (මොයිස්චර්රයිසින්) නිරන්තරයෙන් භාවිතය වැදගත් වන අතර විශේෂයෙන් ස්නානයෙන් සහ ඇග සේදීමෙන් පසු සමෙහි වියළීම අඩු කරන ක්‍රීම් වර්ගයක් භාවිතය වැදගත් වෙයි.

    සම නීරෝගීමත්ව පවත්වා ගැනීමට නම් විශේෂයෙන්ම ආහාර පාන පිළිබදවද සැලකිලිමත් විය යුතුය. තරබාරු පුද්ගලයින් පිෂ්ඨය, සීනි අඩංගු ආහාර භාවිතය අඩු කළ යුතු අතර එළවලු, පලතුරු,මාලු, කිරි, බිත්තර ආදිය භාවිතා කළ යුතුය.

    නිරෝගිමත් සමක් සදහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමද ඉතා වැදගත් වන අතර අනවශ්‍ය ලෙස නිදිමැරීම සමට හානිදායක වෙයි. එමනිසා හොද නින්දක් ලබාගැනීමද වැදගත් වෙයි.සම මෙන්ම හිසකෙස් සහ නියපොතු පිළිබදවද අවදානය යොමුකළ යුතුය. හිසකෙස් සදහා සැර අඩු ෂැම්පෝ වර්ග භාවිතා කළ යුතු සේම නියපොතු පිරිසිදුව පවත්වාගත යුතුය.

    ඝර්ම කලාපීය රටක් ලෙස මෙලනීන් අධික සමක් පැවතීම අපට වාසිදායක වන අතර එමගින් සමෙහි කලු තිත් ඇතිවීම බොහෝ අඩු වෙයි. දුඹුරු සම හේතුවෙන් අප රටෙහි සමේ පිළිකා ඇතිවීමද බොහෝ අඩුය.

    විස්තරය අද (02) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුව ඇසුරෙනි.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya