මාර්තු 30, 2020
tami eng youtube  twitter facebook

    උපත් ආබාධය ආබාධයක් කර නොගැනීමට නම්...

    පෙබරවාරි 23, 2020

    සෑම මවකගේම පියකුගේම බලාපොරොත්තුව වන්නේ මෙලොව එළිය දකින සෑම දරුවකුම නිරෝගිමත් පිරිපුන් දරුවකු ලෙස තම දෑතට ගැනීම යි.

    ඒ අපේක්ෂාව මුදුන් පත්වන්නේ දකුණු  ආසියාවේ වෙනත් කිසිදු රටකට හිමි නොවන පහසුකම් මෙරට ගර්භනී මවකට හිමිවීම තුළින්. මේ හේතුවෙන් දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ ළදරු මරණ මෙන් ම  මාතෘ මරණ සිදුවන්නේ අඩුවෙන්. මෙය සජීවී දරු උපත් දහසකට ළදරු මරණ පහක් බව පවසන්නේ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න. වෛද්‍ය විද්‍යාවේ සිදුවී ඇති දියුණුවත් සමඟ සෑම දරු උපතක් ම සිදුවන්නේ රෝහලක. එමෙන් ම දරුවා බිහිවීමට පෙර ස්කෑන් යන්ත්‍ර මඟින් දරුවාට උපත් ආබාධ පවතිනවාද යන්න පරීක්ෂා  කිරීමට හැකියාවක් පවතිනවා. එහිදී දරුවාට ආබාධයක් පවතිනවා නම් එය හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර කර යථා තත්ත්වයට ගැනීමට ද හැකියාවක් පවතිනවා. ඒ අයුරින් වර්තමානයේ
    100%කට ආසන්න ප්‍රසව සංරක්ෂණයක් හිමිව තිබෙනවා. එහෙත් දරු උපත් දහසකින් පස්දෙනකුට මෙළොව එළිය දකින්නට නොලැබෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.


    මේ පිළිබඳ අදහස් දක්වන ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න, “මෙරට සෑම වසරකදීම කාන්තාවන් 360,000ක් පමණ ගර්භනීභාවයට පත්වන අතර 326,000ක් සජීවී දරුවන් උපත  ලබනවා. මින් උපත් ආබාධ සහිත දරුවන් 5800 ක් මෙලොව එළිය දකින අතර ඉන් දරුවන් 650 ක් සිය පලමු උපන්දිනය සැමරීමට පෙර මෙලොව හැර යනවා. 30%ක් පමණ දරුණු උපත්  ආබාධ වන අතර එම දරුවන් ජීවත් වුවද ස්වාධීන ජීවිතයක් ගතකළ නොහැකියි”.


    උපත් ආබාධ යනුවෙන් අදහස් කරන්නේ ශරීරයේ ඉන්ද්‍රියක පද්ධතියක කොටසක හෝ කළල අවස්ථාවේ ම සිදුවන ආබාධිත තත්ත්වයකි. උපත් ආබාධ විවිධ වන අතර ශරීරයේ ඔ්නම  ඉන්ද්‍රියක ඇතිවීමට හැකියාවක් පවතිනවා. මෙමඟින් දරුවකු ව්‍යුහාත්මකව මෙන් ම ක්‍රියාකාරීමය වශයෙන් ආබාධයට පත්විය හැකියි. මේ ආබාධ ගර්භනීසමයේ හෝ උපතේදී හෝ උපතෙන්  පසු හඳුනාගැනීම සිදුවිය හැකියි.


    උපත් ආබාධ ව්‍යුහාත්මක සහ ක්‍රියාරීත්වමය ලෙස කොටස් දෙකකින් යුත්තයි. ව්‍යුහාත්මක ආබාධ යනුවෙන් අදහස් වන්නේ ශරීරයේ පද්ධතියක හෝ ඉන්ද්‍රියක ඇතිවන ආබාධ යි. ඊට  උදාහරණයක් ලෙස හදවතේ සිදුරක් ඇතිවීම සඳහන් කළ හැකියි. ක්‍රියාකාරීත්වයේ ආබාධ සඳහා තෛයිරොයිඩ් ග්‍රන්ථිය නිවැරදිව ක්‍රියාත්මක නොවීම දැක්විය හැකි යි. දැනට උපත් ආබාධ වර්ග  300-400ත් අතර සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.


    නීරෝගී දරුවකු බිහිවන්නේ සති 40ක් පමණ සම්පූර්ණ වූ පසුව යි. එහෙත් සති 37ට අඩුවෙන් නොමේරූ දරු උපත් ද සිදුවෙයි.මවගේ සහ පියාගේ ජානවලින් කළලය වැඩෙන අවස්ථාවේ සෛල  බෙදෙන විට වෙනස්කම් ඇතිවී විකෘතිතා ඇතිවීමෙනු යි ආබාධ සහිත දරු උපත් සිදුවන්නේ. ඒ සඳහා වර්ණදේහ සහ ඩී.එන්.ඒ. මට්ටමේ ගැටලු බලපාන බව සඳහන් කරන්නේ මහාචාර්ය වජිර  දිසානායක. මේ හේතුවෙන් ජාන විකෘතිතා ඇති වීමෙන් උපත් ආබාධ ඇතිවන බවයි ඔහු සඳහන් කරන්නේ.

    අදවන විට මෙරට ජාන විකෘතිතා ඇති දරුවන් සඳහා විසඳුම් වශයෙන් වර්ණදේහ පරීක්ෂණයක් කරගැනීමට හැකිවීහ විශේෂ කරුණක්. කළලයක් සැදුණ ද ගැබ්නොගැනීම, කළල මට්ටමට  වර්ධනය වී එය මැරීයාම, කළලය කෙටි කාලයකදී මැරීයාම, දරුව‌ා මෙළොව එළිය දකින මොහොතේ හුස්ම හිරවීමවැනි ප්‍රශ්න ජානමය හේතු නිසා ඇතිවෙයි.ඒ සඳහා විසඳුම් ලෙස කොළඹ  විශ්ව විද්‍යාලයේ මානව ප්‍රවේණි අංශය මඟින් වර්ණ දේහ පරීක්ෂණයක් කර ඒ සඳහා විසඳුම් ලබාගැනීමට හැකියාවක් පවතිනවා.
    ආබාධ සහිත දරුවන් බිහිවීමට ප්‍රබල හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ මවගේ වයස අවුරුදු 35 ඉක්මවීමයි. සිදුවිය යුත්තේ සැලසුම් සහිතව දරු පිළිසිඳ ගැනීමක් සිදුකිරීමයි. එමඟින්  නිරෝගිමත් දරුවකු බිහිවෙයි. එමෙන් ම උසට සරිලන බර මෙන් ම ස්ථුලතාවය පිළිබඳ ව ද සැලකිලිමත් විය යුතුයි. එමෙන් ම දියවැඩියාව, තෛයිරොයිඩ් ආබාධවලින් පෙ‌ළෙන රෝගීන් එම  රෝග සඳහා ප්‍රතිකාර ගෙන සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ පසුව ගර්භනී තත්ත්වයට පත්වීමයි වැදගත්. එමෙන් ම ගැබිණි කාන්තාවක් වෙනත් රෝග සඳහා භාවිත කරන ඖෂධ ගැබිණි සමයේදී භාවිත නොකිරීමට වගබල‌ා ගතයුතුයි. එමෙන් ම ගැබිණි සමයේදී භාවිත කරන ආහාර වර්ග, ආස්වාස  ප්‍රාශ්වාස කරන වාතය ද දරුවාට අහිතකර ආකාරයට බලපෑම් කළ හැකියි.


    කාන්තාවන් රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරනු ලබන ආලේපන වර්ග ප්‍රමිතියෙන් තොරව භාවිත කිරීමෙන් ආබාධ සහිත දරු උපත් සිදුවිය හැකියි. රුබෙල්ලා එන්නත ලබාගැනීම තුළින්  මවගේ හෘද රෝග වලකා ගැනීමට හැකියාවක් පවතිනවා. එමෙන් ම දරුවාගේ සුෂුමිනාව සහ මොළය ආබාධවීමේ අවදානම ද වළක්වා ගැනීමට හැකිවන්නේ විටමින් ප්‍රභේදයක් වන ඩී 9  පෝලික් අම්ලය ලබා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් වන නිසා. එයින් දරුවාගේ හිස්කබල සහ කොඳුනාරටිය ආශ්‍රිත ව විකෘතිතා සිදුවන්නේ නැහැ. ගර්භනී මවක් නීරෝගී දරුවකු බිහිකිරීමට නම් ගර්භනී මවක් ලෙස භාවිත කළ යුකුයි. වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපැදීමත් වැදගත් වෙනවා. ආබාධිත දරුවන් බිහිවුවහොත් රටේ මෙන් ම  පවුලේ ආර්ථිකයට සෘජුවම බලපෑම් ඇති කරනවා. මේ ගැටලු මැඩපැවැත්වීම සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෙන ම අංශයක් මේ සඳහා පිහිටුවා ඇත. එයින් පූර්ණ අනුග්‍රහය මේ සඳහා  ලැබෙයි.


    සංකීර්ණ ජීවන රටාව මත්ද්‍රව්‍ය හා දුම්පානය අධික ස්තූල තාවන සහිත මවුවරුන් ඇතැම් ඖෂධ වයස්ගත ගර්භනි භාවය ආදී හේතුන් නිසා මෙවැනි උපත් ආභාධිත සහිත දරුවන් බිහිවීම සිදුවෙයි.  ස්තූලතාවය අඩුකර ගැනීමත්, වෛද්‍ය උපදෙස් අනුව ෆෝලික් අම්ලය ලබා ගැනිමත්, මගින් අඩු උපත් ආබාධිත සහිත දරුවන් ඇති වීම වලක්වාගත හැකියි. එසේම ජාන විකෘතිතාවයන් මේ  උපත් අබාධ සහිත දරුවන් බිහි වීමට මුලිකවන බැවින් මදසරුබාවය, නැවත නැවත ගබ්සා වීම පවුලේ අයෙකුට උපත් ආබාධ සහිත ඥාතින් සිටීම උපත් ආබාධ සහිත දරුවෙකු ඉපදීම යනාදී  සාධක සහිත විවාහක දරුවන් අපේක්‍ෂිත යුවල අනිවාර්යෙන්ම ජාන පරික්‍ෂාවක් සිදුකර ගත යුතු බවත්, ඉන් උපත් ආබාධ සහිත දරුවන් බිහිවීම අවම කර ගත හැති බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ  වෛද්‍ය පීඨයේ මානව ප්‍රවේණි ඒකකයේ ප්‍රධානින් මහාචාර්ය වජිර දිසානායක සඳහන් කරන්නේ.


    මනෝජා සමරනායක

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya