අප්‍රේල් 01, 2020
tami eng youtube  twitter facebook

    ප්ලාස්ටික් වන ගෝලීය ජීවිත....වැලි කැට ගාණනට ප්ලාස්ටික්!

    පෙබරවාරි 23, 2020

    වර්තමානය වනවිට රටම ලෙඩ කරන පිළිලක් වී තිබෙන්නේ ප්ලාස්ටික් සහ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics).

    ඒ ජෛව අජෛව සියලු සංරචකයන්ට එකසේ බලපෑම් කරන නිසා. මයික්‍රො  ප්ලාස්ටික් ප්‍රධාන වශයෙන් ප්‍රාථමික හා ද්විතී­යික ලෙස පරිසරයට එකතු වෙනවා. ඒ දෙවිදියට නිකුත් වන ප්ලාස්ටික් පරිසරයේ පවතින්නේ කුඩු ලෙස. ප්ලාස්ටික් භාවිතය හේතුවෙන්  සිදුවන පාරිසරික විනාශය මෙන් ම ප්ලාස්ටික් පිලිස්සීම නිසා වන හානිය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින අවධියක වුවත් ඒ පිළිබඳ නිසි අවධානයක්  යොමු නොකිරීම හඳුනාගත හැකි ප්‍රධාන ගැටලුවක්.

     

    මේ පිළිබඳ අදහස් දක්වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ: “මයි‍ක්‍රො ප්ලාස්ටික් යනු ප්ලාස්ටික්වලින් කැඩුණු මිලිමීටර් 5ක් මිලිමීටර 1ක් විශාල පුංචි  ප්ලාස්ටික් කැබලි. මේවා පුද්ගලයන් විසින් නිර්මාණය කර ඇති අතර පරිසරයට අනුව ක්‍රියා නොකරනවා මෙන් ම දිරාපත් වන්නේ ද නැත. එමඟින් රසායනික ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය රෝග කාරක  එක්වෙනවා. ජලයට මයික්‍රො ප්ලාස්ටික් එක්වූ විට පේන්නේ නැහැ. මේ නිසා වායු දූෂණය ද සිදුවනවා. වායු ගෝලයට මේ මයික්‍රො ප්ලාස්ටික් එක්වූ විට කවදාවත් ඒවා ඉවත් කිරීමට  හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව මයික්‍රො ප්ලාස්ටික් වායු දූෂණය කර ලෙඩ රෝග ද නිර්මාණය කරනවා. මෙහිදී පරිසරයේ සංයුතිය ද වෙනසකට ලක්වෙනවා. මේ ද්‍රව්‍ය (මයික්‍රෝ  ප්ලාස්ටික්) තත්ත්වය අපට පේන්නේ නැති නිසා ඉතා භයා­නක තත්ත්වයකි.”

     

    මේවන විට මෙරට තුළ වසරකට කුණු කසළ මෙට්‍රික් ටොන් 10,000ක් පමණ එකතු ‍වෙනවා. ඒ අතරින් දිනකට එකතුවන ප්ලාස්ටික් පොලි­තින් මිශ්‍ර කුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන්  700ක්. මේ ප්‍රමාණයෙන් ප්‍රතිචක්‍රීකරණයට ලක්වන්නේ මෙට්‍රික් ටොන් 100 ක් පමණ. මීට අමතර ව තවත් මෙට්‍රික් ටොන් 90 ක් ජලමාර්ග වලට එකතු වෙනවා. ඉතිරි මෙට්‍රික් ටොන්  500 අප පරිසරයට එකතු වෙනවා. ඒ අනුව අපේ රට ඇතුළත වසරකට එකතුවන ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 1610 ක් පමණ වන බව පවසන්නේ මධ්‍යම  පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය.

     

    මේ පිළිබඳ අදහස් දක්වන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටී. ප්‍රදීප් කුමාර: “ වසරකට මෙරට වෙරළ තීරයේ පමණක් ප්ලාස්ටික් කිලෝ ලක්ෂ 322ක් පමණ  එකතුවන වෙනවා. එයින් 99%ක් ම මහ මුහු­දට එක්වන අතර මේ ප්ලාස්ටික් දිරීමට වසර 200 - 1000ක් පමණ ගතවෙනවා. එමෙන් ම ප්ලාස්ටික්වලින් 30%ක් මහ මුහුදේ පාවෙනවා. ඉන්  70%ක් මුහුද පත්ලට ගිලා බසිනවා. එහෙත් ප්ලාස්ටික් දිරා ගියපසු ඒවා කුඩු බවට පත්වී ජෛව ගෝලය, ජල ගෝලය, වායු ගෝලය සහ ශිලා ගෝලය දූෂ­ණයට ලක් කරනවා. එවිට  නිර්මාණය වන්නේ මයික්‍රො ප්ලාස්ටික්. ඒ අනුව 0.5mmට අඩු ප්ලාස්ටික් කැබලි තමයි මයික්‍රෝ ප්ලාස්ටික් ලෙස හැඳි­න්වෙන්නේ.”

     

    මීට අමතරව සමීක්ෂණයකට අනුව සතියක් ඇතුළත ක්‍රෙඩිට් කාඩ් එකක් තරම් මයි‍ක්‍රො ප්ලාස්ටික් ප්‍රමාණයක් එක පුද්ගලයකුගේ ශරීරයට එකතු වන බවද සොයා ගෙන තිබෙනවා. ඒ  අනුව අපේ රටේ එක් පුද්ගලයකුගේ ශරීරයට වසරකට මයික්‍රෝ ප්ලාස්ටික් කෑලි 1769ක් ශරීරගත වෙන බව මේ පර්යේෂණ මඟින් අනාවරණය වී තිබෙන බව පවසන්නේ ජයවර්ධනපුර  විශ්ව විදයාලයේ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ.

     

    නි‍වසේ ඇති රෙදි සෝදන යන්ත්‍රයේ දෙපැත්තේ තැන්පත් වන අපද්‍රව්‍ය කොටසේ බහුලව ඇත්තේ මයික්‍රො ප්ලාස්ටික්. එමෙන් ම ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටුවල හදන ඉඳිආප්ප අප  ආහාරයට ගත් විටත් මයික්‍රො ප්ලාස්ටික් ශරීර ගතවෙන බව ද අනාවරණය වී තිබෙන කරුණක්. මෙහි ඇති භයා­නක බව මේ සියල්ල අප ශරීරගත වන්නේ අප නොදැනුවත්වම වීම. එමෙන්  ම මීට වඩා කුඩා නැනෝ ප්ලාස්ටික් ද අප රටේ බහු­ලව පවතින බවද සොයාගෙන තිබෙනවා.

     


    ව්‍යාපාරික සමාගම් හිතාමතා එකතු කරන මයික්‍රො ප්ලාස්ටික් ජලසම්පාදන මණ්ඩ­ලය මඟින් පානීය ජල ප්‍රභවවල ජලය පිරිසිදු කරන කටයුත්තේදිවත් ඉවත් කිරීමට හැකියාවක්  පවතින්නේ නැහැ. මෙහිදි අප අවධානය යොමු කළ යුත්තේ විවිධ ව්‍යාපාරික සමාගම් තම නිපැයුම්වල පෙනුම හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ගැනීම පිණිස එකතු කරන මයික්‍රො  ප්ලාස්ටික් පිළිබඳ ව. මේ මයි‍ක්‍රො ප්ලාස්ටික්වලට වස විස උරා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ රෝග බෝ කරන බැක්ටීරියා සහ ඒවා උරා ගැනීමට ඇති හැකියාව.

    මේ අනුව මයික්‍රො ප්ලාස්ටික් මඟින් බැක්ටීරියා ‌ෛවරසය වුණත් අපට ශරීරගත වීමට හැකියාවක් පවතිනවා. මයික්‍රො ප්ලාස්ටික් පිළිබඳ ප්‍රශ්නය විසඳීමට ලොව දියුණු රටවල් මේවන විට  කටයුතු කරනවා. මේ පිළිබඳ ව ප්‍රතිපත්ති සම්පාදකයන් ඉක්ම­නින් කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කළ යුතුව පවතිනවා.

    මෙරට සාගර කලාපය ආශ්‍රිත කුඩා මසුන්ගේ 90%කට වැඩි ප්‍රමාණයක මයික්‍රො ප්ලාස්ටික් අන්තර්ගත බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. එම පර්යේෂණය සිදුකර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ  ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික පර්යේෂණ විද්‍යාඥවරියක වන විනුරි සිල්වා. ත්‍රිකුණාමලය, කුඩාවැල්ල, මීගමුව ධීවර කලාපවලින් හාල්මැස්සා, හුරුල්ලා, සාලයා යන මසුන් වර්ග මේ සඳහා යොදා ගෙන තිබෙනවා. මේ සඳහා කොළඹ නාරා ආයතනයෙන් ද සහාය ලැබී  තිබෙනවා. මෙරට බහුතරයක් මාසුන්ගෙන් 5mmට වඩා අඩු ප්ලාස්ටික් කොටස් විශාල ප්‍රමාණයක් හඳුනාගෙන තිබුණා. මේ සඳහා මෙරට වෙරළෙන් මත්ස්‍යයින් 150කට වඩා පර්යේෂණයට  යොදා ගෙන තිබෙනවා. 90%කට වැඩි ප්‍රමාණයක ප්ලාස්ටික් අන්තර්ගත බවයි එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙන්නේ.
    පර්යේෂණයේදී වැඩිම ප්ලාස්ටික් කොටස් අඩංගු බව තහවුරු වී ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ලබාගත් සාම්පලවල. මේ තත්වයට හේතුව වන්නේ අමුද්‍රව්‍ය ලෙස ප්ලාස්ටික් යොදා ගනිමින්  නිෂ්පාදනය කරන ද්‍රව්‍ය දැනුවත්ව හෝ නොදැනුවත්ව සාගරයට මුදාහැරීම.

    ලොව දියුණු රටවල ප්ලාස්ටික් හා පොලිතින් ලබාගන්නා විට යම් මුදලක් අයකරනු ලැබෙනවා. එය මෙරටට ද ක්‍රියාත්මක විය යුතුයි. මේ ගැටලුව අවම කිරීමට ප්ලාස්ටික් පොලිතින් සිලි  සිලි බෑග් නැවත පාවිච්චිය අවම කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීමට ජනතාව යොමු කිරීම යි වැදගත්. එමෙන්ම ව්‍යාපාරික සමාගම් ඕනෑකමින් විවිධ නිපයුම්වලට මයික්‍රො ප්ලාස්ටික්  ඇතුළත් කිරීම තහනම් කිරීමට කටයුතු කිරීම යි වැදගත්. කෙසේ වෙතත් මෙරට කිසිම පර්යේෂණ ආයතනයක් මෙරට ප්‍රධාන පානීය ජල ප්‍රභවවන ලබුගම, කලටු­වාව, මහවැලි, කැලණි  හා කළු ගංගාවල මයික්‍රො ප්ලාස්ටික් සංයුතිය පිළිබඳ ව පර්ය­ෂණ කර නැත. ඒ පිළිබඳ ව බලධාරින්ගේ අවධානය යොමු කිරීම යි වැදගත්.

     

    මයික්‍රෝ ප්ලාස්ටික්වලට අදාළ නීතිමය තත්ත්වය පිළිබඳ කරුණු විමසීමේදී මයික්‍රෝ ප්ලාස්ටික් ගැටලුවට විසඳුම් ලබාදීමට මෙරට ඇති අණපනත් වලින් හැකියා­වක් පවතිනවා. මේ  වසරේ ජනවාරි 1 වැනිදා සිට ඉන්දියාව මයික්‍රෝ ප්ලාස්ටික් තහනම් කර තිබෙනවා. ඒ අනුව අපට ද අදාළ නීති රීති පනවා එම ක්‍රියාමාර්ගවලට අනුගත විය හැකි බව විද්වතුන් පෙන්වා  දෙනවා.

     

    චේතනාන්විතව යම් නිෂ්පාදනයක අංගයක් ලෙස ශ්‍රී ලංකාවට එවන ද්‍රව්‍යයක් වශයෙන් මයික්‍රෝ ප්ලාස්ටික් කොටස් පිළිබඳ ව නීතිමය පියවර ගැනීමට හැකියාව පවතිනවා. මෙහිදී  විශේෂයෙන් මයික්‍රෝ ප්ලාස්ටික් කැටිති පිළිබඳ ව නීතිමය පියවර ගැනීමට හැකියාව පවතිනවා.

    ජාතික පාරිසරික පනතේ 4ආ කොටසේ 23ද වගන්තිය අනුව යම් සුදුසු ද්‍රව්‍යයක් ලංකාව තුළට ගෙන්වීම බෙදාහැරීම හා භාවිතය තහනම් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව මයික්‍රෝ  ප්ලාස්ටික් තහනම් කිරීමට හැකියාව පවතිනවා. ඒ සඳහා පරිසර ඇමැතිවරයාගේ අත්සනින් යුත් නියෝගයක් ගැසට් පත්‍රයේ පළ කළ යුතුයි. මීට අමතර ව පාරිභෝගික කටයුතු  පිළිබඳ අධිකාරි පනතේ 10 වැනි වග­න්තිය අනුව මයික්‍රෝ ප්ලාස්ටික් කැටිති තහනම් කිරීමට හැකියාව පවතිනවා. ඒ අනුව පනත් දෙකෙන්ම සමගාමී නියෝග දෙකක් එකවර  පැනවුවහොත් මේ තහනම සාර්ථක වන බව පැහැදිලි යි. මේ සඳහා කාලානුරූප තහනමක් පැන­වීම සුදුසු බව ද ඒ අනුව අපේ රටේ මයික්‍රෝ ප්ලාස්ටික් තහනමක් සඳහා දිනයක්  ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් පවතිනවා.

    මනෝජා සමරනායක.

     

     

     

     

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya