ඒ නිසා මෙරට පලතුරු වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන ආකාරයෙන් පලතුරු සැපයීම, පලතුරු පරිභෝජනය ද ප්‍රමාණවත් නො වේ. නිරෝගී ජීවිතයක් සඳහා දිනකට පලතුරු පරිභෝජනය ග්‍රෑම් 200ක් වත් විය යුතුයි. ආසියාවේ පලතුරු විවිධත්වයෙන් ඉහළ ම ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාවයි. මේ තත්ත්වය නිසා පලතුරු පරිභෝජනය කෙරෙහි ජනතාව යොමු කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මගපෙන්වීම මත පලතුරු ප්‍රවර්ධන සතියක් ක්‍රියාත්මක කර ඇත. ඊට සමගාමීව හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී ජූලි 14 ආරම්භ වූ පලතුරු ප්‍රදර්ශනය අද (21) අවසන් වෙයි.
හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය ලංකාවේ එකම හා ප්‍රථම පලතුරු පර්යේෂණ මධ්‍යස්ථානයයි. පලතුරු පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස මෙය ස්ථාපිත කිරීමට පෙර පලතුරු පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ 1982දීය.
බෝඹුවල ප්‍රාදේශීය කෘෂිකර්ම හා පර්යේෂණ මධ්‍යස්ථානය ඒ සඳහා යොදා ගැනිණි. එසේ වුවත් 1995න් පසු එම පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ කටයුතුවලදී වැඩි ප්‍රමුඛතාවක් ලැබුණේ වී බෝගයටයි. මේ නිසා ලෝක ආහාර හා තාක්ෂණ සංවිධානය මඟින් ක්‍රියාත්මක වූ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියෙන් හොරණ ගොවිපොළෙහි ද පලතුරු සම්බන්ධ වැඩසටහන් ආරම්භ කෙරුණි. පසුව 2000 වසරේ ජනවාරි මාසයේදී උද්‍යාන විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් හොරණ ගොවිපොළේ ආරම්භ කළ අතර 2001 වසරේ ඔක්තෝබර් විශේෂ කැබිනට් අනුමැතියකින් හොරණ මුළු ගොවිපොළ ම පලතුරු පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කෙරුණි. එහි වර්තමාන අධ්‍යක්ෂ කටයුතු කරන්නේ ආචාර්ය එච්.එම්. සුභා හීන්කෙන්ද මහතායි. 2013 වසරේ මේ පර්යේෂණ මධ්‍යස්ථානය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් වැඩිදියුණු කරන ලදී.
මෙරට පලතුරු ක්ෂේත්‍රය ගෙවතුවලට පමණක් සීමා වී තිබේ. මෙය කර්මාන්තයක් ලෙස ඉදිරියට නොඑන නිසා ඉක්මනින් පලතුරු වෙළෙඳපොළක් ශ්‍රී ලංකාවේ සැකසිය යුතුයි. වෙනත් රටවල පලතුරු වාණිජ වගාවක් ලෙස ක්‍රියාත්මකයි. විදෙස් රටවල පලතුරු පරිභෝජනය ප්‍රචලිත කරන්නේ පාසල් තුළිනි. ඒ නිසා මෙරට පාසල් තුළිනුත් පලතුරු පරිභෝජනය ව්‍යාප්ත කිරීමට නියමු ව්‍යාපෘතියක් දියත් කර තිබේ. මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේ පලතුරු අලෙවි කුටියක් විවෘත කරමින් එම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.
මේ ව්‍යාපෘතියේදී ඇට හා පොතු ඉවත් කළ ග්‍රෑම් 200ක පලතුරු සහිත පෙට්ටියක් රුපියල් 25.00ක මිලකට පාසල් ළමුන්ට අලෙවි කරනු ලැබේ. මේ පාසල් නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ නිසා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන්, මාතර සුජාතා හා රාහුල විද්‍යාල, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ රාජකීය, විශාකා, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාල, හෝමාගම මහින්ද රාජපක්ෂ හා හොරණ තක්ෂිලා විද්‍යාලවල ද පලතුරු අලෙවි කුටි විවෘත කිරීමට ආරාධනා ලැබුණු බව මේ පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
හොරණ පාසල් 05ක් හා ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 15ක් පසුගියදා පලතුරු අලෙවි කුටි පාසල තුළ ස්ථාපිත කිරීම පිළිබඳ ව සාකච්ඡා පවත්වා තිබේ. මේ පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු දින සිට පලතුරු අලෙවි කුටි විවෘත කිරීමට අපේක්ෂිතය. සෑම දිස්ත්‍රික්කයක ම පාසල් 10ක් සඳහා පලතුරු අලෙවිසැල් පිහිටුවීම, පාසල් සිසුන් පලතුරු පරිභෝජනයට යොමු කිරීම හා අනාගත පරපුරට පලතුරුවල ගුණාත්මක හා වටිනාකම අවබෝධ කර දීම මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණු වේ. එක් දිනකට දේශීය පලතුරු වර්ග 03ක් අලෙවි කෙරේ. ඒ අනුව සතියකට පලතුරු වර්ග 15ක් අවශ්‍ය වේ. මේ සඳහා සැපයුම්කරුවන්, පලතුරු වගා කරන්නන් අවශ්‍ය වන නිසා රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් බිහි වේ.
මේ රටට වසරකට ටොන් මිලියන 140ක් පලතුරු අවශ්‍යයි. එහෙත් ලංකාවේ පලතුරු වගා කර ඇත්තේ හෙක්ටයාර් 150,000ක පමණි. මේ මඟින් ටොන් 750,000ක් පලතුරු නිපදවයි. මෙය විශාල කර්මාන්තයක් නිසා ටොන් මිලියන 140ක් පලතුරු නිපදවීමේ අරමුණින් ඉදිරි කාලයේ දී තවත් විශේෂ ව්‍යාපෘති 11ක් ක්‍රියාත්මක කිරීමට ද පලතුරු පර්යේෂණ මධ්‍යස්ථානය කටයුතු සැලසුම් කර ඇත.
* පලතුරු ගම්මාන ව්‍යාපෘතිය
මේ ව්‍යාපෘතියේ දී පලතුරු ගම්මාන 100ක් සංවර්ධනය කිරීමට පියවර ගැනේ. දැනට ගම්මාන 38ක් පිහිටුවා ඇත. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ හඳුනාගත් පලතුරු ප්‍රභේද 07ක් වගාකිරීම සඳහා ගම්මාන 10ක හෙක්ටයාර් 10 බැගින් වගාකිරීමට කටයුතු කරයි. දොඩම්, දූරියන්, මිදි, ජමනාරං, දෙළුම්, අන්නාසි, දොඩම්, කටු අනෝදා, දිවුල්, මැංගුස්, ජම්බු හා මසං වගා කරන පලතුරුයි. දිස්ත්‍රික්ක 25 තුළ ම මේ අවුරුදු 03 ඇතුළත පලතුරු ගම්මාන පිහිටුවීමට කටයුතු කෙරේ.
පලතුරු නිෂ්පාදනය වැඩිකිරීම, ගෘහ මට්ටමින් පලතුරු නිෂ්පාදන කර්මාන්ත හඳුන්වාදීම, අපනයනය වැඩිකිරීම හා ආනයනය අඩු කිරීම, නව තාක්ෂණය හඳුන්වාදීම හා ආදායම වැඩි කිරීම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණු වේ.
* අවාරයේ ඵල දරන කලාප සංවර්ධන ව්‍යාපෘතිය
දේශගුණික වශයෙන් තෝරා ගත් කලාප කිහිපයක අවාරෙට ඵල හැදෙන පලතුරු වර්ග වගාකිරීම මේ ව්‍යාපෘතියෙන් සිදු කෙරේ. කුරුණෑගල දොඩම්ගස්ලන්ද කලාපය, මාතලේ ලග්ගල - පල්ලේගම කලාපය, බදුල්ලේ බිබිල - මැදගම කලාපය, දියලුම, ලේමස්තොට - බෙලිහුල්ඔය කලාපය හා පස්සර - බදුල්ල කලාපය, දෙනියාය, මොරවක කලාපය යන ප්‍රදේශ අවාරයේ ඵල නිෂ්පාදන කලාප ලෙස හඳුනාගෙන ඇත. මේ කලාපයන්හි රඹුටන්, දූරියන්, මැංගුස් හා අලිගැට පේර වගා කිරීමට කටයුතු කෙරේ. මේ අතරින් දොඩම්ගස්ලන්ද හා ලග්ගල මේ ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක කර ඇත. ඉතුරු කලාපවල මාස 03ක් ඇතුළත වගා කටයුතු සිදු කිරීමට නියමිතය.
* පලතුරු ශාක කප්පාදුව හා පුනරුත්ථාපනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය
ප්‍රාදේශීය මට්ටමින් තෝරා ගත් ප්‍රතිලාභීන් 1600 දෙනෙකු සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම මේ ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකර්ම උපදේශක නිලධාරීන් 25 දෙනෙකු පුහුණු කරන අතර ඒ හරහා ගම්මානවල ප්‍රතිලාභීන් පුහුණු කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත. ප්‍රතිලාභීන් 25 දෙනෙකු සඳහා කප්පාදු උපකරණ කට්ටල බෙදා දීමක් ද සිදු කරන අතර මේ එක් උපකරණ කට්ටලයක මිල රුපියල් 25,000.00කි.
අඩු ඵලදාවකින් යුතු පැරණි පලතුරු වගාවන් නැවත සාර්ථක ඵල දරන වගාවන් බවට පත්කිරීම මෙමඟින් අපේක්ෂිතයි. දිවි නැඟුම ව්‍යාපෘතියට සමගාමීව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ සඳහා රුපියල් මිලියන 14.4ක් ලබා දී තිබේ. ස්වයංරැකියාවක් ලෙස මෙමඟින් ආදායම් ඉපැයීමට ද අවස්ථාව ලැබේ.
* වතු වගාවන්හි අතුරු බෝග ලෙස පලතුරු වගාව හඳුන්වාදීමේ ව්‍යාපෘතිය
ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් ලක්ෂ 06ක වතු වගාවත් අක්කර ලක්ෂ 02ක පොල් වගාවත් සිදු කරයි. මේ ඉඩම්වල අතුරු බෝග ලෙස පලතුරු වගාව හඳුන්වාදීම මේ ව්‍යාපෘතියෙන් සිදු කෙරේ. තේ වතුවල ජමනාරං, පෙයාස්, රඹුටන්, මැංගුස්, දූරියන්, අලිගැට පේර හා කටු අනෝදා වගා කරන අතර පොල් වගාවන් අතර කෙසෙල්, අන්නාසි, පැපොල්, අඹ, රඹුටන්, දූරියන්, අලිගැට පේර හා වැල්දොඩම් වගා කරයි. මේ වන විට පූගොඩ හා මීරිගම පොල් වතුවල පලතුරු වගා කර ඇත.
රබර් වගාවේ අන්නාසි, කෙසෙල් හා පැපොල් වගා කිරීම මේ ව්‍යාපෘතියේ දී සිදු කෙරේ. වසර 02ක දී වතු වගාවන් හෙක්ටයාර් 1,800ක පමණ පලතුරු වගාව මේ ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. පොල් පර්යේෂණ ආයතනය, තේ පර්යේෂණ ආයතනය, රබර් පර්යේෂණ ආයතනය හා පොල් සංවර්ධන මණ්ඩලය මේ සඳහා ක්‍රියාත්මකයි. මේ ව්‍යාපෘතියේදී ප්‍රතිලාභීන් දැනුවත් කිරීම, උසස් ප්‍රභේදවල ගුණාත්මක පැළ ලබාදීම හා තාක්ෂණික උපදෙස් ලබාදීම සිදු කරනු ඇත.
* පලතුරු ශාකවල මල් හට ගැනීම උත්තේජනය කිරීමේ ව්‍යාපෘතිය
අවාරයේ හා අඩු ඵලදාවක් සහිත පලතුරු ගස්වලට මල් හටගැනීම සඳහා පැක්ලොබියුට්‍රෙසෝල් (PACLOBUTRAZOLE) රසායනික ද්‍රව්‍යය පලතුරු ගසේ මුල අවට පසට එක් කිරීම මේ මඟින් සිදු කෙරේ. මාස 03කට පසු ගස්වල මල් හට ගැනීම සිදු වේ. අඹ හා දූරියන් වැනි ශාකවල හැම වාරේ ම මේ මඟින් මල් හට ගැන්විය හැක. මේ රසායනිකය හඳුනාගත් ගෙවතු සඳහා නොමිලේ ලබා දෙන අතර මේ වන විට පෞද්ගලික අංශයෙන් ද මිලට ගත හැක.
* කහ නාරං හා දොඩම් ප්‍රභේද හඳුන්වාදීමේ ව්‍යාපෘතිය
ආනයනික කහ නාරං හා දොඩම් ප්‍රභේද වෙනුවට දේශීය ව කහ නාරං හා දොඩම් ප්‍රභේද ප්‍රචලිත කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණයි. වාණිජ මට්ටමින් වගාවන් සිදු කිරීම සඳහා බණ්ඩාරවෙල, රහංගල යන උඩරට අතරමැදි කලාපයේ මේ වගාවන් සිදු කිරීමට යෝජිතයි. ඉඩම් අක්කර 10-15 ප්‍රමාණයන් වගාවට යොදා ගන්නා අතර අවුරුදු 2 1/2න් ගෙඩි හට ගැනේ.
* දීප ව්‍යාප්ත පලතුරු මැස්සා පාලන ව්‍යාපෘතිය
ප්‍රෝටීන් ඇම ලෙස හඳුන්වන මෙහිදී ඇමයිනෝ අම්ල කෘෂි රසායනික සමඟ මිශ්‍ර කර ගසේ තැන්වලට ඉසීම නිසා ගැහැණු, පිරිමි සතුන් මිය යනු ඇත.
දීප ව්‍යාප්තව සිදු කරන අනෙක් ක්‍රමවේදය මඟින් ගෙවතු පලතුරු ඵලදාව 25%ත් 30%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. පලතුරු මැස්සා උපකරණය නොමිලේ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් නොමිලේ ලබා ගත හැකි අතර වෙළෙඳපොළෙන් ද මිලදී ගත හැකියි.
* පලතුරු පසු අස්වනු තාක්ෂණ ව්‍යාපෘතිය
මේ සඳහා හම්බන්තොට, මාතර, මාතලේ, නුවරඑළිය හා කුරුණෑගල යන ප්‍රදේශවල ඇසුරුම් මධ්‍යස්ථාන 05ක් හා ආහාර සැකසුම් මධ්‍යස්ථාන 05ක් ස්ථාපිත කොට ඇත. මේවා ගොවි සංවිධාන මඟින් ක්‍රියාත්මකයි. දේශීය හා විදේශිය වෙළෙඳපොළ හඳුන්වාදීමත් ගොවි සංවිධාන අවට ප්‍රදේශවලින් පලතුරු එකතු කිරීමත් මේ ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.
* තවාන් පැළ සඳහා නව බඳුන් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය
තවාන්වල භාවිත සම්ප්‍රදායික බඳුන් වෙනුවට කොහුබත් බඳුන් හඳුන්වාදීම මෙහි දී සිදු කරයි. සියලුම පලතුරු පැළ තවාන්කරුවන් මෙහි ප්‍රතිලාභීන් වේ. බර අඩු, ප්‍රවාහනයට පහසු, නඩත්තුව පහසු, අවම ශ්‍රමය, යෙදවුම් අඩුවීම නිසා මෙය ඉතා සාර්ථක ව්‍යාපෘතියකි. නව ක්‍රමය සඳහා එක් පැළයක නිෂ්පාදන වියදම රුපියල් 25.00ක් වැනි අඩු මුදලකි. සම්ප්‍රදායික ක්‍රමය යොදා ගනිමින් පැළ නිෂ්පාදනය සඳහා රුපියල් 125.00ක් වැනි මුදලක් වැය වේ. මේ මඟින් පැළ තවාන් ක්ෂේත්‍රයේ විප්ලවයක් බලාපොරොත්තු විය හැකි යැයි පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.
* පටක රෝපණ තාක්ෂණය මඟින් ගුණාත්මක පලතුරු පැළ නිෂ්පාදන ව්‍යපෘතිය
නිර්දේශිත පලතුරු ප්‍රභේදවල නිරෝගී හා ගුණාත්මක පැළ ගොවීන් අතර ප්‍රචලිත කිරීම මේ මඟින් සිදු වේ.
* "වැලිගම මැලවීමේ රෝගය" ආසාදිත පොල් වගාවන්හි පලතුරු බෝග හඳුන්වාදීමේ ව්‍යාපෘතිය
මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ව්‍යාපෘතියේදී හානියට ලක් වූ පොල් වතු හිමියන්ගේ ආදායම ඉහළ නැංවිමේ අරමුණින් කලාපයට සම්ප්‍රදායික නොවන පලතුරු බෝග හඳුන්වාදීම හා ආර්ථික වටිනාකම් සහිත බෝග කලාප පිහිටුවීම මේ මඟින් සිදු කරනු ඇත. ඒ අනුව අඹ, රඹුටන්, දූරියන්, දොඩම්, අන්නාසි වගාවන් සිදු කිරීම මෙහිදී සිදු කෙරේ.
විදෙස් රටවල පලතුරු සංගම් පිහිටුවා තිබුණත් ශ්‍රී ලංකාවේ එවැනි සංගමයක් නොමැති නිසා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පලතුරු සංගමයක් පිහිටුවීමට කටයුතු කළ බව ද අදහස් දැක්වූ හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභා හීන්කෙන්ද මහතා පැවසීය.
මේ පිළිබඳ ව අවධානය යොමු කරමින් කඩිනමින් පලතුරු ප්‍රවර්ධන සතියේ පළමු දිනයේ ම තම නායකත්වය යටතේ සාමාජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටුවක් යටතේ පලතුරු සංගමයක් පිහිටුවීමට කටයුතු කළ බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මැදිහත්වීම මේ සඳහා ලැබුණි. මේ කමිටු සාමාජිකයන් අතරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනෙකු, හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ හා ගන්නෝරුව පලතුරු පර්යේෂණ ආයතනයේ නිලධාරීන් 01 අයෙකු ලෙස නිලධාරීන් දෙදෙනෙකු, කාගිල්ස්, ඩොලේ ලංකා ආයතන දෙකේ නිලධාරීන් එක් අයෙකු බැගින් වතු හිමියන් දෙදෙනෙකු, MD, Smak නිෂ්පාදන ආයතනවල එක් අයෙකු බැගින්, අපනයනකරුවෙකු, සී.අයි.සී. සමාගමේ නිලධාරියෙකු ද ඇතුළත් වේ.
ලබන 31 දින මේ සංගමයේ දෙවන රැස්වීම පැවැත්වෙන බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා මෙහි ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසු නිල වශයෙන් සාමාජික සාමාජිකයන් බඳවා ගන්නා බව සඳහන් කළේය. පලතුරු සංගමයේ සාමාජිකත්වය පලතුරු නිෂ්පාදකයන්, පාරිභෝගිකයන්, පලතුරු අලෙවිකරුවන්, පලතුරු වතු හිමියන් ඇතුළු පලතුරු සම්බන්ධ ඕනෑම අයෙකුට ලබා ගත හැකියි. මේ සංගමය ජාලගත කරන බව පැවසූ ඔහු මේ තොරතුරු හුවමාරුව මඟින් පලතුරු නිෂ්පාදනය, අලෙවිය, වෙළෙඳපොළ හා පලතුරු කර්මාන්තය දියුණු කිරීමට අවස්ථාව සැලසෙන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පාසල්වල පලතුරු ව්‍යාප්ත කිරීම නිසා 2016දී 25%කින් පලතුරු නිෂ්පාදනය ඉහළ නැංවිය හැකියි. තරුණ පරම්පරාව පලතුරු කර්මාන්තය, නිෂ්පාදනය, කෘෂි ක්ෂේත්‍රය කෙරෙහි යොමු කිරීමට පලතුරු ප්‍රවර්ධන සතියේ එක් අරමුණකි. පර්යේෂණය කර නිෂ්පාදනය කරන ලද පලතුරු ප්‍රභේද පලතුරු ප්‍රදර්ශනයට ඉදිරිපත් කර ඇත.
පලතුරු පැළ මිලට ගන්න මිනිසුන්ගේ උනන්දුව වැඩියි. මේ ප්‍රදර්ශනයට සහභාගි වූ එක් පැළ තවානක් සඳහන් කළේ පළමු දින පැය 02ක් ඇතුළත පලතුරු පැළ විකිණීමෙන් රුපියල් 138,000ක මුදලක් ඉපැයූ බවයි. අලෙවි කුටියක් ඇති තවත් පැළ තවානක අයිතිකරුවෙකු තෙවන දිනය වන විට රුපියල් 217,000ක මුදලක් පැළ අලෙවියෙන් ලබා ගත් බව සඳහන් කළ බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිනක ආදායම රුපියල් ලක්ෂ 05ක් බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මිල ස්ථාවර නිසා එයින් මිලදී ගන්නා පිරිස වැඩියි. පෞද්ගලික අංශයේ මිල වෙනස් වේ. උගුරැස්ස පලතුරු පැළ සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇත. වෙරළු, රඹුටන්, දූරියන්, පැඟිරි පලතුරු වර්ග, අඹ හා අලිගැට පේර පැළ සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ඇතැම් පැළ වර්ග මේ වන විට අවසන් ව ඇති නිසා පැළ නැති බව සඳහන් කරමින් මිනිසුන් චෝදනා කරන බව පැවසූ අධ්‍යක්ෂවරයා මෙතරම් සෙනඟක් පැමිණේවි යැයි අපේක්ෂා නොකළ නිසා පලතුරු වෙළෙන්දෝ මෙන් ම තවාන් හිමියන් ද පැළ රැගෙන ආවේ අඩු ප්‍රමාණයක් බව පැවසීය. පලතුරු ප්‍රදර්ශනයේ දී මේ නිසා වැඩි වැඩියෙන් පැළ ගේන ලෙස විවිධ ප්‍රදේශවල පැළ තවාන් හිමියන්ට ආරාධනා කළ බව පැවසූ ඔහු කන්තලේ, රත්නපුර ප්‍රදේශවලින් පැළ රැගෙන විත් ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.
පළමු වතාවට හොරණ දී පැවැත් වූ "ග්රෑම් 200" නමින් නම් කළ මේ පලතුරු ප්‍රදර්ශනය සාර්ථක බවත් එය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කරන බවත් හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂවරයා පැවසීය.
පලතුරු ප්‍රදර්ශනයේ අවසන් දිනය අද (21)යි. ආරම්භක දිනයේ සිට ඊයේ (20) වන විට පලතුරු ප්‍රදර්ශනය නැරඹීම සඳහා දළ වශයෙන් ලක්ෂ 3 1/2ත් 4ත් අතර ජනතාවක් පැමිණි බව ද ඔහු සඳහන් කළේය.
හොරණ කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය පාසල් ළමුන්ට නැරඹීමට නිරතුරුවම විවෘතව පවතී. ඒ සඳහා සතියකට පෙර පහසු දිනයක් වෙන් කර ගත යුතුයි. එම ආයතනයේ සිටින විශේෂඥ කණ්ඩායම හමු වී සාකච්ඡා කිරීමටත් පලතුරු සම්බන්ධයෙන් දැනුවත් වීමක් අවශ්‍ය නම් ඒ සඳහා පුහුණුවත් මේ ආයතනයන් සැපයේ. මෙහි විශේෂ ව්‍යාපෘති සඳහා පර්යේෂණ පහසුකම් පවතී. ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන සඳහා ද ඉඩහසර ලබා දෙනු ඇත.
දුරකතන / ෆැක්ස් අංක 034-2261626 හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හරහා මේ පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට හැකි වේ.
නිරංජලා දිල්රුක්ෂි හේරත්
ඡායාරූප යමුනි රශ්මිකා පෙරේරා
හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභා හීන්කෙන්ද මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි.