Print this page

වෙළෙඳපොළ හා අනිකුත් ආර්ථික සාධකවල හැසිරීම විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි කාලයේදී බදු අනුපාතයන් සංශෝධනයට පියවර- අගමැති

අගෝස්තු 08, 2018

වෙළෙඳපොළ හා අනිකුත් ආර්ථික සාධකවල හැසිරීම විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි කාලයේදී අවශ්‍ය පරිදි අදාල බදු අනුපාතයන් සංශෝධනය කිරීමට පියවර ගැනිමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසී ය

අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිම අවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

2018 පළමු මාස 05 තුළදී වෙළඳ ශේෂය ඇ.ඩො. මිලියන 4,914 ක් දක්වා එනම් සියයට 17 කින් පුළුල් වූ අතර වාහන ආනයනය ඉහළ යාම එයට බලපෑ ප්‍රධාන හේතුවක් බවට හදුනාගෙන තිබෙනවා. 2017 වසරේ පළමු මාස 05 තුළ දී පෞද්ගලික භාවිතය සඳහා වූ මෝටර් රථ ආනයන වියදම වූ ඇ.ඩො. මිලියන 316 ට සාපේක්ෂව 2018 වසරේ පළමු මාස 05 තුළ දී ආනයන වියදම ඇ.ඩො. මිලියන 666 දක්වා සියයට 110.6 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙම ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සිලින්ඩර ධාරිතාව ඝන සෙන්ටිමීටර 1000 ට වඩා අඩු පෙට්‍රල් මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ (Hybrid) ආනයනය ඉහළ යාමයි.

2017 වසරේ පළමු මාස 05 තුළ ඝන සෙන්ටිමීටර 1000 ට වඩා අඩු පෙට්‍රල් මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ වාහන ආනයන වියදම, සමස්ථ මෝටර් රථ ආනයන වියදමින් සියයට 51.3 ක් වූ අතර 2018 වසරේ පළමු මාස 05 තුළ දී එය සියයට 78.9 ක් දක්වා විශාල ලෙස වැඩි වී තිබෙනවා.

 ඒ වගේම 2016 නොවැම්බර් සිට 2017 මැයි දක්වා කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2017 නොවැම්බර් සිට 2018 මැයි දක්වා එන්ජින් ධාරිතාවය ඝන සෙන්ටිමීටර 1000 ට අඩු පෙට්‍රල් වාහන ආනයන ප්‍රමාණය 18,781 ක් දක්වා සියයට 139.2 කින් ද දෙමුහුන් හයිබ්‍රිඩ් වාහන ආනයනය 19,346 ක් දක්වා සියයට 328.7 කින්ද වර්ධනය වී තිබෙනවා.

මෙම වාහන ආනයන ඉහළ යාම ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් කිරීමට හේතු වී තිබෙන අතර එමඟින් විදේශ විනිමය අනුපාතය කෙරෙහි ඉහළ පීඩනයක් එල්ල කරමින් ගෙවුම් ශේෂය කෙරෙහි අහිතකර තත්ත්වයක් ඇති කර තිබෙනවා. ඒ අනුව එන්ජින් ධාරිතාවය ඝන සෙන්ටිමීටර 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා එන්ජින් ධාරිතාවය මත පදනම් වන ඒකක අගය මත ඝන සෙන්ටිමීටරයට රු. 1,750/- බද්ද නොවෙනස්ව පවතිනවා. කෙසේ වුවද එම වාහන සඳහා 2018 අගෝස්තු 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රු. මිලියන 1.5 ක අවම බදු සීමාවක් පනවා තිබෙනවා.

එමෙන්ම දෙමුහුන් වාහන සඳහා රු. මිලියන 1.25 ක අවම බදු සීමාවක් පනවා තිබෙනවා. ඝන සෙන්ටිමීටර 1000 වඩා අඩු වාහන සඳහා 2018 අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බදු සංශෝධනයන් පිළිබඳ විස්තරය මම සභාගත කරනවා 

 මෙම බදු සංශෝධනය සමගම 2018 අගෝස්තු මස 01 වන දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සඳහා 2019 ජනවාරි 31 දින දක්වා වාහන නිෂ්කාශනය කර ගැනීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා. මෙම සහනය ලබා දී ඇත්තේ දැනටමත් ණයවර ලිපි විවෘත කර ඇති පාරිභෝගිකයන් හට අසාධාරණයක් සිදු නොවීමටයි. මින් පෙර බදු ප්‍රතිපත්ති වෙනස් වූ අවස්ථාවන් වලදිද මෙම සහනය ලබාදී තිබෙනවා.

මේ අනුව කිසිදු පාර්ශවයක් අගතියකට පත් නොවන අයුරින් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සහනය ලබා දී තිබෙනවා. එමෙන්ම වාහන වටිනාකම තක්සේරු කිරීම සිදු කරන අවස්ථාවලදී මෙවැනි සහනයන් රජය විසින් ලබා දී තිබෙනවා.

වෙළෙඳපොළ හා අනිකුත් ආර්ථික සාධකවල හැසිරීම විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි කාලයේදී අවශ්‍ය පරිදි අදාල බදු අනුපාතයන් සංශෝධනය කිරීමට පියවර ගැනිමට අප රජය බලාපොරොත්තු වෙනවා.