මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන් සුරැකීමට නිසි පියවර

    ජූලි 18, 2014
    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ මීට වසර දෙකකට පෙර ඇති දැඩි වූ මුළු සත්වයින් සංඛ්‍යාව 2739ක් වූ අතර, එම සතුන් විවිධ සත්ව වර්ගවලට අනුව ක්ෂීරපායින්, උරගයින්, පක්ෂීන් හා මත්සයින්  ලෙස වර්ගීකරණය කළ  හැක.
     
    මෙම සත්වෝද්‍යානය තුළ පසුගිය වසර දෙකක කාලය තුළ මිය ගිය සතුන්ගේ සංඛ්‍යාව සහ එම සතුන් මිය යෑමට හේතුවූ කරුණු විශ්ලේෂණය කරමින් සකස් කරන ලද දත්ත ඇතුළත් වාර්තාවක් පහත දැක්වේ.
     
          New Picture
     
                          New Picture 1
     
    New Picture 2
     
    මෙම දත්තවලට අනුව පසුගිය වසර දෙකක කාලය තුළ මිය ගිය සතුන්ගෙන් 36%ක ප්‍රතිශතයක් මිය ගොස් ඇත්තේ වයස්ගත වීම, උපතේදී ඇතිවන විකෘති තත්ත්වයන්, උපතට පෙර මිය යෑම, උපත් බර අඩුවීම, උපතේදී ඇති වන රෝගී තත්ත්වයන් සහ ස්වභාවික සංසිද්ධීන්  හේතුවෙන් වේ. එබැවින් මෙම මරණවලට ප්‍රධාන හේතුව රෝගය නිසි පරිදි හඳුනා නොගැනීම හෝ නිසි ප්‍රතිකාර ලබා නොදීම නොවන බව ඒ අනුව පැහැදිලි වේ.
     
    සත්වෝද්‍යානය තුළ ඕනෑම සතෙකු මිය ගිය විට විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරනු ලැබේ. මෙහිදී මෙම ක්‍රියාවලියේ පාරදුෂ්‍යභාවය වඩාත් තහවුරු කිරීම සඳහා වටිනාකමින් වැඩි, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ සතුන්ගේ මරණ පරීක්ෂණ බාහිර ආයතනයක පශු වෛද්‍යවරයකු මඟින් සිදු කර ගනු ලබයි. එබැවින් මෙම වාර්තාව සඳහා විශ්ලේෂණයට භාජනය කොට ඇති මරණවලට හේතු වූ කරුණු ඉතා නිවැරදි වේ.
     
    පසුගිය වසර දෙකක කාලය තුළ මියගිය සම්පූර්ණ සතුන්ගේ සංඛ්‍යාව 141ක් වන අතර, එයට පක්ෂීන් 69ක් ඇතුළත් වේ. මෙම පක්ෂීන්ගෙන් බහුතරයක් දුර්ලභ ගණයේ සත්වයින් නොවන විශාල සංඛ්‍යාවක් ලෙස අලංකාරය සඳහා රඳවාගෙන ඇති බජිරිගාර්, අලු ගිරවා, ලබු ගිරවා සහ හැඳි අළුවා වැනි පක්ෂීන් වේ. images 1
     
    රඳවා ගැනීමේ තත්ත්වයන් මත සත්වෝද්‍යානයක ජීවත් වන සතුන් අතරින් පක්ෂීන්ගේ මරණ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා බව විද්‍යාත්මක සත්‍යයකි. ඔවුන් විශාල සංඛ්‍යාවක් වශයෙන් ජීවත් වීමට ඉඩකඩ සලසා තිබීමත් ඔවුන් ආසාධිත රෝගවලට දක්වන ප්‍රතිරෝධී ශක්තිය අඩුවීමත් එයට හේතුව වේ. පසුගිය වසර දෙක තුළ සත්වෝද්‍යානය තුළ සිදුවූ සත්ව මරණ පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී ක්ෂීරපායී සත්වයින් 56%ක් මිය ගොස් ඇත්තේ වයස්ගත වීම, උපතේදී ඇති වූ විකෘර්ති තත්ත්වයන් හා උපතේදී ඇති වූ රෝගී තත්ත්වයන් වැනි පාලනයෙන් බැහැර හේතූන් මතය. 
     
    නමුත් පුවත්පත් කිහිපයක් මඟින් සත්වෝද්‍යානය තුළ ජීවත්වන සතුන් විශාල වශයෙන් මිය යන බවට වාර්තා පළ කිරීම මඟින් උත්සාහ දරනු ලබන්නේ කළමනාකාරීත්වයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රෝග හඳුනා නොගැනීම හා නිසි ප්‍රතිකාර ලබා නොදීම මත මෙම මරණ සිදු වූ බව ඒත්තු ගැනිවීමටය.
     
    පසුගිය වසර දෙකක කාලය තුළ (2012.07.01.- 2014.06.30) සත්වෝද්‍යානයේ සිදු වූ සත්ව මරණවල වාර්ෂික ප්‍රතිශතය 2.6%කි. අන්තර්ජාලය මඟින් ලබාගත් තොරතුරුවලට අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානයට වඩා දියුණු තත්ත්වයේ සත්වෝද්‍යාන කිහිපයක් සමඟ මෙම වාර්ෂික මරණ ප්‍රතිශතය සලකා බැලීම වැදගත්වේ. 
     
    දකුණු කොරියාවේ Seoul Grand Park Zoo හි මෙම මරණ ප්‍රතිශතය 5.8% වන අතර, තායිවානේ තායිපේ සත්වෝද්‍යානයෙහි මෙම ප්‍රතිශතය 6.15%කි. විශාල සතුන් ප්‍රමාණයක් රඳවා ගෙන සිටින ඉතාමත් දියුණු මට්ටමේ පවතින ජපානයේ Ueno Zoo හි මෙම ප්‍රතිශතය 18.8% වේ. ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය වැනි ඉඩකඩ සීමා සහිත පැරණි යටිතල පහසුකම්වලින් සමන්විත සත්වෝද්‍යානයක වාර්ෂික සත්ව මරණ ප්‍රතිශතය වන 2.6% ඉහත සත්වෝද්‍යානවලට වඩා අඩු මට්ටමක පවතී. ක්ෂීරපායීන් පමණක් සම්බන්ධයෙන් විශ්ලේෂණය කළ ද පසුගිය වසර දෙක තුළ වාර්ෂික මරණ ප්‍රතිශතය 3.5% වන අතර, එය ඉහත සත්වෝද්‍යාන හා සැලකීමේදී ඉතා ඉහළ අගයක් නොවන බව පැහැදිලි වේ.images 5
     
    සතිඅන්ත පුවත්පතක දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මිය යෑම එම සතුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා නොදීම සහ ඉපදුණ සත්ව පැටවුන් නිසි ක්‍රමවේදයකට රැක බලා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා නොදීම වැනි පාලන අධිකාරියේ අඩුපාඩු හේතුවෙන් සිදුවූ බවට සඳහන්ව තිබේ. 
     
    නමුත් පාලන අධිකාරිය විසින් ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ, උපකරණ සහ අරෝග්‍යශාලා පහසුකම් සියල්ල ප්‍රධාන පශු වෛද්‍යවරියගේ ඉල්ලීම්වලට අනුකූලව ලබා දී තිබේ. එමෙන්ම අලුත ඉපදෙන සත්ව පැටවුන් රැකබලා ගැනීම සඳහා සත්ව රෝහලට අනුබද්ධව ළදරු සත්ව ඒකකයක් (Animal Nursery) අලුතින් ස්ථාපිත කොට ඇත. මීට අමතරව අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී බාහිර විශේෂඥ පශු වෛද්‍යවරුන්ගේ සහාය මුදල් ගෙවීමේ පදනම මත අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා ලබා ගැනීමට ද පාලන අධිකාරිය ඉඩ කඩ සලසා තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ රෝගීවූ සත්වයින්ට නිසි ප්‍රතිකාර කිරීම දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ රාජකාරියක් වන අතර, පුවත් වාර්තාවල සඳහන් පරිදි විශාල ලෙස සතුන් මිය යෑමක් සිදුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් එම පශු වෛද්‍යවරුන් ඍජුවම වගකිව යුතුය.
     
    ඉහත කරුණු සාකච්ඡා කිරීමේදී පසුගිය වසර දෙකක කාලය තුළ මෙම ආයතනය තුළ සිදු කරන ලද මානව සම්පත් සංවර්ධනය, සේවක සුභ සාධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ආදායම් තත්ත්වය වැඩිදියුණු කර ගැනීම පිළිබඳ ද සාකච්ඡා කිරීම වැදගත්වේ. 
     
    පසුගිය වසර දෙකක කාලය තුළ මෙම ආයතනයේ දීර්ඝ කාලයක් පැවති සේවක ගැටලුවක් වූ වසර 10 වඩා වැඩි කාලයක් අනියම් හා තාවකාලික සේවයේ යෙදෙමින් දැඩි කලකිරීමට පත්ව සිටි සේවකයින් 100ක් පමණ ස්ථිර තනතුරුවලට පත් කරන ලදී. මෙම සංඛ්‍යාව සමස්ත සේවක සංඛ්‍යාවෙන් 20% ක් පමණවේ. මීට අමතරව ආයතනයේ කළමනාකරණය සඳහා දැඩි ගැටලුවක්ව පැවති සහකාර අධ්‍යක්ෂ තනතුරුවල පුරප්පාඩු, සත්ව පාලක තනතුරුවල පුරප්පාඩු, සහකාර සත්ව පාලක තනතුරුවල පුරප්පාඩු පිරවීමට කටයුතු කොට ඇත. පින්නවල අලි අනාථාගාරය ඉතා වැදගත් අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් වන නමුත් එහි අනුමත අලි බලන්නන්ගෙන් 50%ක් පමණ පුරප්පාඩු වී පැවති අතර, එම ප්‍රදේශය ආශ්‍රිත තරුණයින් පිරිසක් සඳහා මාස හයක පුහුණුවක් ලබාදී එම පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇති අතර, එය එහි අලි සම්පත කළමනාකරණයට විශාල පිටුවහලක් වී ඇත.
     
    සේවක සුභ සාධනය සම්බන්ධයෙන් සැලකීමේදී 2012 වර්ෂය අවසානය දක්වා රු. 400.00ක් ව පැවති හදිසි අනතුරු දීමනාව 2013 වසරේදී රු. 2500.00ක් දක්වා වැඩි කරන ලදී. සතුන් සමඟ කටයුතු කිරීමේදී සත්ව භාරකරුවන් විවිධ හදිසි අනතුරුවලට ලක් වීමේ අවදානම වැඩිය. එබැවින් 2012 වර්ෂය අග භාගය වන තෙක්ම සාමාන්‍ය වන්දි ක්‍රමයන්ට පරිබාහිරව එවැනි හදිසි අනතුරු සඳහා කිසිදු ප්‍රතිලාභයක් සේවකයින්ට හිමි නොවුණි. එබැවින් සත්වෝද්‍යාන අරමුදලින් හදිසි අනතුරු සඳහා වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. එම ක්‍රමය යටතේ රාජකාරියේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු සඳහා උපරිම රු. 500,000.00ක් දක්වා වූ මුදලක් එහිදී සේවකයින්ට හිමිවී තිබේ. මීට අමතරව සත්ව භාරකරුවන් හා සත්ව පාලකවරුක් සඳහා පුහුණු වැඩසටහන් කිහිපයක්ම හඳුන්වා දෙන ලදී. මෙම මානව සම්පත් සංවර්ධන ක්‍රියාකාරකම්වල ප්‍රතිලාභ පූර්ණ වශයෙන් ආයතනයට හිමිවීමට තවත් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇත.
     
    මීට අමතරව කාලයක් අඩපණව තිබූ පින්නවල නව සත්වෝද්‍යානය ඉදිකිරීම හා හම්බන්තොට සෆාරි උද්‍යානය ඉදිකිරීම කඩිනම් කරන ලද අතර, මෙම වර්ෂය අවසන් වීමට පෙර එම සත්වෝද්‍යානවල කොටසක් මහජනතාව සඳහා විවෘත වනු ඇත. එසේම විශාල විදේශීය සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙන පින්නවල අලි අනාථාගාරයේ යටිතල පහසුකම් සහ උද්‍යාන අලංකරණ කටයුතු පසුගිය වසර දෙකක කාලය තුළ විශාල ලෙස වැඩිදියුණු වීමකට භාජනය වී තිබේ.
     
    මෙම මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා උපාය මාර්ගික සංවර්ධනය හේතුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය හා පින්නවල අලි අනාථාගාරය යන සංචාරක මධ්‍යස්ථානවලට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව වැඩිකර ගැනීමට හැකි වී තිබේ. 2013 වසරේදී මෙම සංචාරක මධ්‍යස්ථානවලට මිලියන 2.2ක දේශීය හා විදේශීය සංචාරකයින් පැමිණ තිබේ. 
     
    2012 වර්ෂයේදී දෙපාර්තමේන්තුව ලබා ගත් සමස්ත ආදායම රුපියල් මිලියන 645ක් වූ අතර, එය 2013 වසරේදී රුපියල් මිලියන 720 දක්වා වැඩි කර ගැනීමට හැකිවිය. මෙම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස 11%කි. 2014 වර්ෂයේ පළමු මාස 6යේ සංචාරකයින්ගේ පැමිණීම 2013 වර්ෂයේ මුල් මාස 06 සමඟ සංසන්දනය කිරීමේදී දේශීය සංචාරකයින්ගේ පැමිණීම 5%කින් ද, විදේශීය සංචාරකයින්ගේ පැමිණීම 18%කින් ද වැඩිවී තිබේ. සංසන්දනය කරන ලද කාලසීමාව තුළ දෙපාර්තමේන්තුවේ අදායම 44%කින් වැඩි කර ගැනීමට හැකි වී ඇත.
     
    දෙහිවල ජාතික සත්වෝද්‍යානය හා පින්නවල අලි අනාථාගාරය යන සංචාරක ආකර්ෂණයන්ගෙන් රජයට ලැබෙන ආදායමට අමතරව ඒවා කේන්ද්‍ර කොට ගත් දේශීය ආර්ථිකයක් ගොඩ නැගී ඇති බව සඳහන් කල යුතුය. මෙම ස්ථාන ආශ්‍රිතව සිය ජීවනෝපාය සකසා ගැනීම සඳහා ඍජු හා වක්‍ර ආදායම් මාර්ග මත යැපෙන ප්‍රදේශවාසීන් සංඛ්‍යාවද ඉතා විශාල වේ. 
     
    කෙසේවෙතත් පසුගිය වසර දෙකක කාලය තුළ විවිධ නීතිවිරෝධී කටයුතුවල දිගින් දිගටම යෙදුණු සුලු සේවක පිරිසක් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයට අනුව විනයානුකූලව කටයුතු කොට තිබේ. එසේම අනෙකුත් සේවක කණ්ඩායම් සමඟ සුහදශීලීව කණ්ඩායමක් වශයෙන් රාජකාරියේ යෙදීමට නොහැකිව ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන ලද සමහර නිලධාරීන් ආයතනයෙන් පිටතට ස්ථාන මාරු කිරීමටද පාලන අධිකාරියට සිදුවිය. මීට අමතරව විවිධ නීත්‍යනුකූල නොවන ක්‍රියා මඟින් ලාභ ප්‍රයෝජන ලබා ගත් පුද්ගලයින්ගේ කටයුතු සීමා කිරීමට ද පියවර ගෙන තිබේ. මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් අතෘප්තියට පත් සුලු සේවක පිරිසක් ඕනෑම ආයතනයක් තුළ එහි කටයුතු විවේචනය කිරීම සඳහා විවිධ අසත්‍ය තොරතුරු මාධ්‍යවලට ලබා දීම සාමාන්‍ය සංසිද්ධියකි. එබැවින් මෙම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම නිසි අවධානයක් නොමැතිවීම හේතුවෙන් විශාල වශයෙන් සතුන් මිය යෑම සම්බන්ධ ලබා දෙන අසත්‍ය තොරතුරු පිළිබඳ නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණයි.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya