Print this page

දුම්පානය සෞඛ්‍යයට අහිතකරයි - ඇබ්බැහිවීමෙන් අත් මිදෙමු

ජූනි 13, 2018

''ආරෝග්‍යා පරමා ලාභා'' ලෙසින් බුදුන් වහන්සේ ධම්ම පදයේ දේශනා කර ඇත්තේ නිරෝගී බව ලොව ඇති උතුම් ලාභය බවයි. කොතරම් මිල මුදල් උපයා ගත්ත ද රෝගි විමෙන් තම ධනය හා සිතේ සහනය වියැකී යන බව එදා මෙන් ම අදටත් මතුවටත් සදා සදා සත්‍යයකි.

ලෝකයේ බෝවන රෝග ලෙසින් වර්ගීකරණයක් පැවතී. එය රෝගී වු පුද්ගලයෙකුගෙන් ශරීරයෙන් තවත් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළ්වීමෙන් රෝගී තත්ත්වයට පත්වේ. එහෙත්,වර්තමානය වන විට මෙය සම්පූර්ණයෙන් ම වෙනස් වී බෝ වන රෝග අභිබවා බෝනොවන රෝග ඉතා දරුණු ලෙසින් හිස එසවිම සිදු ව තිබේ. බෝ නොවන රෝග පිළිබඳව සොයා බැලීමේ දි එය මිනිසා විසින් ම රෝගවලට ගොදුරු විමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

විශේෂයෙන් වෛද්‍ය මතය අනුව බෝ නොවන ඇති විමට මූලික හේතුව කිහිපයක් දක්වා තිබේ.එනම්,දුම් පානය ,මත්පැන් පානය, ව්‍යායාම අඩුකම හා අහිතකර ආහාර පුරුදු මිට බලපා තිබේ. ඒ අතරින් දුම්පානය ඉතා ඉහළ අගයක් ගනි. විශේෂයෙන් පෙනහළු පිළිකා කාරකයක් ලෙසින් මෙය හැඳින් වෙන අතර ශරීරයට අහිතකර සංයෝග 4000 ක් පමණ තිබේ.ඒ අතර නිකොටීන්, කාබන් මොනොක්සයිඩ්,අක්‍රෝලීන් ප්‍රධාන වේ. මේ හේතුවෙන් අධික රුධිර පීඩනය,දියවැඩියාව,පිළිකාව,හෘදයාබාධ,ආතරයිටීස්,කොලෙස්ටරෝල් ආදි රෝග ගණනාවක් ඇති විමට හේතු වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශිත ලෝක දුමිවැටි විරෝධිතා දිනය සෑම වසරකම මැයි මස 31 දිනට යෙදී තිබේ.එම දිනය 1988 සිට ක්‍රියාත්මක වේ.

දුම්වැටිය පිළිබඳව අප සැම දන්නවා වුවද එය ලෝකයට හදුන්වා දෙන ලද්දේ ඇමෙරිකාව විසිනි.දුම්කොළ භාවිතය සියවස් ගණනාවක සිට මිනිසුන් අතර භාවිත වුවද එය අද මෙන් පිඩාකාරි සහ මාරාන්තික නොවුනි.එය සමහර ජනවර්ග ඖෂධයක් ලෙසින් භාවිත කර තිබේ.

කඩදාසිය කොළයක ඔතා සිගරට්ටුවක් ස්වරූපයෙන් භාවිතයට පැමිණෙන්නේ 1865 වසරේ දි ලාභය අරමුණු කොට ගෙන ඇමෙරිකාවේ උතුරු කැරෝලිනා නගරයේ විසු වොෂින්ටන් ඩුක් නම් පුද්ගලයා එවකට සිවිල් යුද්ධයේ නියැලුණු සොල්දාදුවන් උදෙසා යි.


මෙවර දුම් වැටි නිවාරණයේ තේමාව වි ඇත්තේ ''නීති විරෝධි දුම්කොල නිෂ්පාදනය නවත්වමු'' යන්නයි.ඒ වෙනුවෙන් මැයි 31 සිට ජුනි 06 දක්වා දුම්වැටි නිවාරණ සතියක් ද ක්‍රියාත්මක කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ කෙසේ වුවද මේවන විට දුම්වැටි සඳහා යොමු විමේ ප්‍රවණතාවයේ යම් අඩුවක් දක්නට ලැබුන ද දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන වලට ඇබ්බැහි විමේ ප්‍රවණතාවය අඩුවී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසයි.

මේ අනුව වාර්ෂිකව රුපියල් බිලියන 120 ක් පමණ දුම් වැටි අලෙවියෙන් ලාභ උපයන බවත්, ඊට අමතරව දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් ගෙන් වාර්ෂිකව රුපියල් බිලියන 200 කට වැඩි ආදායමක් එම සමාගම්වලට ලැබෙන බවත් පැවසු අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා,තවදුරටත් සඳහන් කරන්නේ එය සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්ෂිකව අයවැයෙන් වෙන් කෙරෙන මුදල හා සමාන වන බවයි.


දුම්වැටි භාවිතය හා දුම් කොළ භාවිතය අවම කර ගැනීම පහසු නොවන්නේ එය කායික හා මානසික ඇබිබැහිවිම හේතුවෙනි.ඒ සඳහා යොමු වු අයෙක් එයින් මුදා ගැනිම පහසු කාර්යයක් නොවන්නේ ද මේ නිසාය.එහෙත්,සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා ද පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර වැඩිදුර තොරතුරු සඳහා 1948 ඇමතිය හැකි බව වැඩි දුරටත් ඔහු පැවසිය.

 

සටහන- ලලන්ති