Print this page

අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය

මාර්තු 13, 2018

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරාධනයකට අනුව, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මැතිතුමා එක්දින සංචාරයක් සඳහා 2018 මාර්තු මස 14 දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීමට නියමිතය.

අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය, 1957 වසරේදී පිහිටුවන ලද අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව, අන්තර් රාජ්‍ය කටයුතු සිදු කරන, විද්‍යා හා තාක්ෂණයේ උන්නතිය උදෙසා කැපවූ ස්වාධීන ආයතනයකි.  තව ද මෙම ආයතනය, විශ්ව කේන්ද්‍රීය ලෙස තම සාමාජික රටවල සමාජ හා ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා න්‍යෂ්ටික තාක්ෂණය හා විද්‍යාව සාමකාමී අරමුණු ඔස්සේ දියත් කල වැඩසටහන් අතර න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම හා මෙම තාක්ෂණය හා දැනුම ස්වයංපෝෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට යොදා ගැනීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාව දඅන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ ආරම්භක සාමාජික රටක් ලෙස 1957 වසරේ සිට කටයුතු කරන අතර, එහි තාක්ෂණ සහයෝගීතා වැඩපිළිවෙල ඔස්සේ, රටේ න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණයේ ප්‍රගමනයට, අති විශාල ලෙස තාක්ෂණ ආධාර හා ප්‍රතිලාභ ලබා ගෙන ඇත.

මෙම තාක්ෂණ සහයෝගීතා වැඩපිළිවෙල, අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය මඟින් සාමාජික රටවල න්‍යෂ්ටික තාක්ෂණ ශක්‍යතාවය වර්ධනය කරනු ලබන ප්‍රධාන යාන්ත්‍රණය වෙයි.  මෙම වැඩසටහන ඔස්සේ, සාමාජික රටවල ප්‍රධාන සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනුම උදෙසා, මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරනු ලබන අතර, එය න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී භාවිතා අනුව යමින් මිනිසාගේ සෞඛ්‍යය හා පෝෂණය නංවාලීමටත්, ආහාර හා කෘෂීකර්ම ව්‍යාපෘතිවලටත්, ජල සම්පත් හා මූලාශ්‍ර කළමණාකරණයටත්, පාරිසරික හා කර්මාන්ත ක්ෂේත්‍රවල අභිවෘද්ධියටත් යොදා ගැනීම සිදුවෙයි.

අද වන විට, අන්තර්ජාතික පරමාණුක බල ශක්ති නියෝජිතායතනයේතාක්ෂණ ආධාර ඔස්සේ, ශ්‍රී ලංකාව න්‍යෂ්ටික තාක්ෂණයේසාමකාමී භාවිත ඔස්සේ යමින් ප්‍රශස්ත මට්ටමේ ජයග්‍රහණ සපුරාගෙන ඇත.  ශ්‍රී ලංකාවේ ජනතාවට මහඟු සේවාවක් ලබාදෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මක වන න්‍යෂ්ටික වෛද්‍ය ඒකකය, ශ්‍රී ලංකා ගැමා ප්‍රවිකිරණ මධ්‍යස්ථානය, නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ඒ අතුරින් කැපී පෙනෙයි.  තව ද, අන්තර්ජාතික පරමාණුක බල ශක්ති නියෝජිතායතනය ඔස්සේ ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ, වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ, භෞතික වෛද්‍යවේදීන්ගේ දැනුම හා කුසලතාව වර්ධනය උදෙසා විවිධ පරිමාණයේ  විදේශීය පුහුණුවීම්, සම්මන්ත්‍රණ ආදිය සඳහා සහභාගීවීමට අවස්ථාවන් සලසා දෙනු ලබයි.

තවද, ඉහල වටිනාකමින් යුතු තාක්ෂණයෙන් ආඩ්‍යය වු විද්‍යාත්මක උපකරණ හා යන්ත්‍ර සුත්‍ර විශාල වශයෙන්, අන්තර්ජාතික පරමාණු බලශක්ති නියෝජිතායතනයෙන් ශ්‍රි ලංකාවට ලැබි ඇති අතර, මෙහි විශේෂත්වය වනුයේ මෙවැනි සමහර උපකරණ දේශිය වෙළඳපොලෙන් මිලදී ගත නොහැකිවීමයි. තවදුරටත්, ශ්‍රි ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජයගැනිමට, ව්‍යපෘති සැලසුම් කොට ඇති අතර, ඒ සඳහාද අන්තර්ජාතික පරමාණු බලශක්ති නියෝජිතායතනයේ තාක්ෂණ ආධාර ඔස්සේ න්‍යෂ්ටික තාක්ෂණයේ අරුණළු අප රටට උදා වීමට නියමිතය.

යුකියා අමානෝ මැතිතුමා ශ්‍රි ලංකාවේ සංචාරය කරන කාලය අතරතුර ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධ ආයතන වන ශ්‍රි ලංකා ගැමා මධ්‍යස්ථානය හා නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ සංචාරය කිරිමටද නියමිතය. මෙම විද්‍යාත්මක ආයතන දෙක පිහිටුවිමේදි අන්තර්ජාතික පරිමාණු බලශක්ති නියෝජිතායතනයේ තාක්ෂණ ආධාර ප්‍රශස්ත මට්ටමෙන් ලැබුණු අතර වර්තමානයේදී විවිධ පැතිකඩ ඔස්සේ ඒවා තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

තවද, අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් තැන්පත් යුකියා අමානෝ මැතිතුමා, ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේද සංචාරය කිරිමට නියමිතය.