Print this page

අභිමානවත් 70 වන නිදහස් සැමරුමට ලොව ප‍්‍රබල නායකයින්ගෙන් ජනපතිට උණුසුම් සුබ පැතුම්

පෙබරවාරි 04, 2018

ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්ව වසර 70ක් සම්පූර්ණවීම සමරන අභිමානවත් 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ලෝක නායකයින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත සිය උණුසුම් සුබපැතුම් පළකරති.

ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහසේ දශක හතක් සපුරන මේ මොහොතේ බ්‍රිතාන්‍ය එළිසබෙත් මහ රැජිණ  විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ඇති සම්බන්ධතාවය අද තවදුරටත් ශක්තිමත් වී ඇති බව සඳහන් කරන බ්‍රිතාන්‍ය මහ රැජිණ ඉදිරි වසරවලදි දෙරටේ ජනතාව අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් විය යුතු බවත් ඒ වෙනුවෙන් තමා ද දැඩි විශ්වාසයෙන් පසුවන බවත් සඳහන් කරයි.

මෙම ඓතිහාසික මොහොතට පෞද්ගලිකව සහභාගීවීමට නොහැකිවීම පිළිබඳව කණගාටුව පළ කරන මහ රැජිණ මෙම අභිමානවත් අවස්ථාවට බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙක් වන එඞ්වඞ් කුමරු සහ එම කුමරිය සහභාගී කර ඇති බව ද සඳහන් කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සංහිඳියාව වගවීම සහ යුක්තිය සපිරි රාජ්‍යයක් බවට පත්වෙමින් සිටින මේ මොහොතේ එළැඹෙන 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් තම උණුසුම් සුබ පැතුම් පළකරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ද ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සංහිඳියාවේත් සමෘද්ධියේත් අරමුණු නියත වශයෙන්ම ජයගනු ඇති බව ද ඇමරිකානු ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතා ද අභිමානවත් 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් ශ‍්‍රී ලංකාව සහ රුසියාව අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම මේ මොහොතේ තම අදිටන බව සඳහන් කර තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ද විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සම්ප‍්‍රදායික මිත‍්‍රත්වය වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉතා ප‍්‍රායෝගික අන්දමින් ක්‍රියාත්මක වන බවයි.

දෙරට අතර සම්බන්ධතා ඉදිරියේදී දෙරටේම ජනතාවට ප‍්‍රතිලාභ උදාවන අයුරින් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කරන චීන ජනාධිපතිවරයා අභිමානවත් නිදහසේ 70 වන සැමරුමට තම උණුසුම් සුබ පැතුම් පළ කරයි.

ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා  ජනාධිපතිතුමා වෙත විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සෞභාග්‍ය ද පතමින් 70 වන නිදහස් සැමරුමට සිය උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.

තුර්කි ජනාධිපති රිසෙප් ටේයිස් එර්දෝගන් මහතා ද ශ‍්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙන අතර ශ‍්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් තමා නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව සඳහන් කර ඇත

 PMD