Print this page

ශී‍්‍ර ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ග වැඩපිළිවෙළක්

ජනවාරි 06, 2018

ශී‍්‍ර ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ලොව ප‍්‍රමුඛ මූල්‍ය හා කළමනාකරණ උපදේශක සමාගමක් වන මැකෙන්සි සමාගමේ සහයෝග සහිතව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය මගින් 2017 දෙසැම්බර් මාසයේ දී ආරම්භ කරන ලදී.

මෙම සමාරම්භය තුළින් ශී‍්‍ර ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ග ප‍්‍රවර්ධනය සදහා මූලික වැඩසටහන් තුනක් ආරම්භ කිරීමට මෙන්ම ශී‍්‍ර ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ග ප‍්‍රවර්ධනයට සුදුසු අවස්ථාවන් සහ ඩිජිටල් ආර්ථිකය බලාත්මක කළ හැකි මූලික පහසුකම් ආදියත් විද්‍යාත්මකව හඳුනාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

මැකෙන්සි සමාගම විසින් දැනට ලබාදෙන උපදේශන සේවා සති 11ක් වැනි කෙටි කාලීන කාල සීමාවකට අයත්වන අතර එය පියවර තුනකින් යුක්තව ක‍්‍රියාත්මක වේ. එහි පළමු පියවර යටතේ ඩිජිටල් ආර්ථිකයකට ගමන් කිරීමේ දී ශී‍්‍ර ලංකාවේ සූදානම හදුනාගැනීම සහ වර්ධනය කිරීම සිදුවේ. දෙවැනි පියවර යටතේ අවධානය යොමු කරනුයේ ඩිජිටල් ආර්ථිකයේ ආරම්භය ගැනීමට සුදුසු මූලික වැඩසටහන් තුනක් සැළසුම් කිරීම සහ ව්‍යාපෘති දහයක් මගින් ඩිජිටල් ආර්ථිකයකට උපකාරීවන මූලික පහසුකම් බලාත්මක කරනු ලැබේ. අවසන් අදියර යටතේ මෙම හඳුනාගත් වැඩසටහන් සහ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනු ඇත.  

 

මෙහි දී ප‍්‍රධාන ආර්ථික සංවර්ධන ක්‍ෂේත‍්‍ර තුනක් තුළින් ඩිජිටල් ආර්ථික උපායමාර්ග ප‍්‍රවර්ධනය කරයි. එනම් කෘෂිකාර්මි ක්ෂේත‍්‍රය, සංචාරක ක්ෂේත්‍රය සහ නිෂ්පාදන ක්ෂේත්‍රය යි. ඒ අනුව ඉහත ක්ෂේත්‍ර අතුරින් එක් එක් ක්ෂේත්‍රයක අවම වශයෙන් එක් මූලික ව්‍යාපෘතියක්වත් බැගින් ආරම්භ කරමින් ශී‍්‍ර ලංකාවේ ඩිජිටල් ආර්ථික උපාය මාර්ගයන්හි ආරම්භක පියවර සදහා සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වේ.


පසුගිය ජනවාරි 04 වැනිදා අරලියගහ මන්දිරයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ දී මෙහි පාලන කමිටුව රැස්වී එහි ආරම්භක වාර්තාව ඉදිරිපත් කළ අතර එහි දී තීරණය කෙරුණේ ව්‍යාපෘතියේ හඳුනා ගැනීමේ පියවර ජනවාරි මස 15 වැනි දින සිට සති දෙකක් තුළ සිදු කිරීමටය. මෙය සති 05ක සැළසුමකින් යුක්ත වේ. ඒ අනුව 2018 අපේ‍්‍රල් මාසය වන විට මෙය දියත් කිරීමට අවශ්‍ය අදාළ වැඩසටහන් සහ ව්‍යාපෘති හඳුනා ගැනීමට සහ සූදානම් කිරීමට නියමිතය. ආරම්භක වාර්තාව ඉදිරිපත් කරමින් මැකෙන්සි සමාගම තහවුරු කරන ලද්දේ මෙම යෝජිත ඩිජිටල් ආර්ථික උපායමාර්ග වැඩසටහන මගින් 2019 වන විට ශී‍්‍ර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 1-3 දක්වා ප‍්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බවයි.