Print this page

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ කාර්යභාරය

ජූනි 01, 2017

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ ඇති විධි විධානයන් බලාත්මක වූ 2017 පෙබරවාරි 03 දින සිට මේ දක්වා ගත වූ මාස තුනහමාරක් පමණ වූ කෙටි කාල පරිච්ඡේදය තුළ පොදු අධිකාරීන් ලෙස හඳුන්වනු ලබන රාජ්‍ය හා වෙනත් ආයතන විසින්ද සාමාන්‍ය පුරවැසියන් විසින්ද තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවෙන් නිරන්තරයෙන් කරනු ලබන විවිධාකාර විමසීම් පිලිබඳ මෙම කොමිෂන් සභාව මහත් සේ සතුටට පත්වන අතර, ඒ සම්බන්ධයෙන් පොදු මහජනතාවත් සියලු පොදු අධිකාරීන්ටත් සිය කෘතඥතාවය පළකර සිටී.

 

විශේෂයෙන් දිනෙන් දින ඉහළ යමින් පවතින විමසීම් වලින් පෙනී යන්නේ තොරතුරු දැනගැනීමේ පනත මගින් සහතික කර තිබෙන ඔවුන් සතු අයිතීන් බුක්ති විඳීමට ඔවුන් දක්වන උනන්දුව පමණක් නොව, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලැබෙන සහයෝගයේ පරිමාණයයි. අනෙක් අතින් දැනටමත් ඇතැම් පොදු අධිකාරීන් විසින් හුදෙක් සිය කැමැත්තෙන්ම ඇතැම් තොරතුරු හෙළි කිරීමට හැකිනම් ප්‍රගාමී තොරතුරු අනාවරණය කිරීමට පියවර ගනිමින් සිටිනු දැකීම අපව මහත් සේ දිරිගන්වන සුලුය. තොරතුරු පනතේ විධිවිධාන යටතේ පිහිටුවා ඇති ස්වාධීන මණ්ඩලයක් හා ව්‍යවස්ථාපිත ආයතනයක් වන මෙම කොමිෂන් සභාව විසින් මෑතදී අසා නිම කරනු ලැබූ අභියාචන දෙකක් ගැන මෙහිලා සඳහන් කරනු වටී.

 

මෙම අවස්ථා දෙකේදීම අදාල සියළු පාර්ශවයන්ගේ සන්තුෂ්ටිය හේතුවන පරිදි අභියාචන කරුවන් දෙදෙනාටම පනත යටතේ ඉල්ලා තිබූ තොරතුරු කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීමට නියම කරනු ලැබ තිබූ අදාල පොදු අධිකාරීන් විසින් නොවළකා ලබා දෙන්නට යෙදුනි. දැනට මෙවැනි අභියාචනා රාශියක් කොමිෂන් සභාව ඉදිරියේ විභාග වෙමින් පවතී. මේ අතර කොමිෂන් සභාව වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පටිපාටිමය හා මූලික අංග පිලිබඳ මග පෙන්වීම් ඉල්ලා රාජ්‍ය අංශයේ පොදු අධිකාරීන් වෙතින් ඉල්ලීම් රාශියක් ලැබී ඇතිවා පමණක් නොව, එකී ආයතන මගින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා සිදු වී ඇති අසාධාරණයන් පිලිබඳ එකී ආයතනවල සේවකයන්ද ඇතුළුව පොදු මහජනයා විසින් කරනු ලබන විවිධාකාර ඉල්ලීම් ද කොමිෂන් සභාව වෙත ලැබෙමින් පවතී. දැනට එවැනි ඉල්ලීම් තුන්සීයක් පමණ ලැබී තිබේ.

 

මේ සියල්ලෙන් ගම්‍යමාන වන්නේ තොරතුරු දැන ගැනිම සම්බන්ධයෙන් තිබෙන පොදු අධිකාරිය භාවිතා කිරීමට මහජනයා අතර පවත්නා පෙළඹීමයි. එය මෙම කොමිෂන් සභාව දිරිමත් කරවන යහපත් ලකුණකි. ලැබෙන ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වනු ලබන්නේ ඒවා ලැබෙන අනුපිළිවෙළ අනුවය. කෙසේ නමුත්, කොමිෂන් සභාව දැනට එයට හැකි උපරිම ආකාරයෙන් ක්‍රියා කරනු ලබන්නේ තවමත් තාවකාලික පරිශ්‍රයක සිට ඉතා සීමිත කාර්ය මණ්ඩලයක් සමඟ බවද මෙහිලා මතක් කළ යුතුය. පොදු අධිකාරීන් විසින් පත්කරනු ලැබ ඇති තොරතුරු නිලධාරීන් විසින් උපදෙස් පතමින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් බොහෝමයක් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනතේ 5(5) වගන්තිය යටතේ සළකා බැලිය යුතු ඒවාය. එනම් ඕනෑම තොරතුරකට ප්‍රවේශය ලබාදීමට සම්බන්ධ පටිපාටිය කරණාවලට අදාල ඒවාය.

 

කෙසේ නමුත්, පනතේ ඇති විධි විධාන වලට සම්බන්ධ ආනුෂංගික කාරණයක් පිළිබඳ උපදෙසක් දීමට හෝ අදහසක් පළකිරීම නිසා එකී කාරණය පිළිබඳව කොමිෂන් සභාව වෙත විධිමත් අභියාචනයක් ඉදිරිපත් කෙරෙන අවස්ථාවකදී කොමිෂන් සභාව මගින් කරනු ලබන විනිශ්චයකට අගතියක් විය හැකිය. මෙවැනි තත්වයක් යටතේ තොරතුරු නිලධාරීන් විසින් උපදෙස් පතා කොමිසන් සභාව වෙත කරනු ලබන බොහෝ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකිවීම ගැන කොමිෂන් සභාව සැබවින්ම කණගාටු වේ.

 

මේ සම්බන්ධයෙන් නැවත අවධාරණය කළ යුතුව තිබෙන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ මූලික අරමුණ වන්නේ පනතේ නිශ්චිතව දක්වා ඇති විකල්පයන්ට යටත්ව, පොදු මහජන යහපතට අදාල වන සියළු තොරතුරු පොදු අධිකාරීන් විසින් හැකි උපරිම මට්ටමින් හෙලිකළ යුතු බවයි. කොමිෂන් සභාව පනත විසින් නියම කරනු ලැබ ඇති පරිදි තොරතුරු නිලධාරීන් හා නම්කළ නිලධාරීන් පත්කිරීමේ විධානාත්මක ව්‍යවස්ථාපිත කාර්යයෙන් බැඳීමට තවමත් අනුකූලනය වී නැති පොදු අධිකාරීන්වලින් ඒවා නම්කර ප්‍රකාශයට පත්කරන්නැයි ඉල්ලා සිටී.

 

එසේම කොමිෂන් සභාව ඉදිරියේ එන කොමිෂන් සභාවේ තොරතුරු දැන ගැනිමේ අයිතිය පිලිබඳ ලාංඡනය මෙන්ම මූලික ආකෘතියක පවතින හා තව දුරටත් වැඩි දියුණු කළ යුතුව තිබෙන එහි වෙබි අඩවිය දියත් කිරීම පිළිබඳව නිවේදනය කරන්නේ මහත් සතුටිනි. වෙබි අඩවියට 2017-2019 දක්වා කොමිෂන් සභාවේ ක්‍රමෝපායික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම (SPI) සම්බන්ධක තීන්දු කරන ලද අභියාචන හා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට අදාළ ලියැවිලි ඇතුළත් වනු ඇත.

 

එසේම පනතේ 42 වගන්තියට අනුව විමර්ශන පිලිබඳ විශේෂාංග රීති කෙටුම්පත් හා වාර්තා ආකෘති (10 වගන්තිය යටතේ) මෙන්ම පනතේ 8 හා 9 වගන්තිය යටතේ පොදු අධිකාර විසින් කළ යුතු ප්‍රගාමී හෙළිදරව් කිරීම්වලට සම්බන්ධ මාර්ගොපදේශ ද වැදගත් වේ. මෙම කෙටුම්පත් නීති හා මාර්ගෝපදේශකත්වයන් අවසන් වශයෙන් සකස් කිරීමට හා ගැසට් කිරීමට පෙර ප්‍රතිපෝෂණය සඳහා මහජන විෂය පථයට යොමු කරනු ලැබේ.

 

ශ්‍රී ලංකාවේ වගවීමේ හා විවෘතභාවයේ සංස්කෘතියක් මුදුන්පත් කර ගැනීමෙහි ලා තවමත් විකාශනය වෙමින් පවතින තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාවලිය තුළ මහජන සහභාගීත්වය නැතිවම බැරිය යන කොමිෂන් සභාවේ තිරසර විශ්වාසයේ දැක්මෙන් යුතුව මේ කාරණය සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරවලට ආරාධනා කෙරේ. පනත යටතේ අවශ්‍ය කරන රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු කටයුතු පහසුකරණය කඩිනම්ව ආරම්භ කිරීමට ද කොමිෂන් සභාව අපේක්ෂා කරයි.‍

 

තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සම්බන්ධතා විස්තර: ලිපිනය : 2-203,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය, බෞද්ධාලෝක මාවත, කොළඹ-07 දුරකථන: 0112691625