Print this page

නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි වර්ධනයක්

දෙසැම්බර් 02, 2016

2015 වර්ෂයේ සාමාන්‍ය කාර්තුමය නිෂ්පාදනයට  සාපේක්ෂව 2016 වර්ෂයේ තෙවන කාර්තුව තුළ නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 3.0 % කින් වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2016 වර්ෂයේ තෙවන කාර්තුවට නිකුත් කරන ලද දර්ශක අගයන් අනුව 2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, 2016 ජූලි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවයෙහි 3.8%  ක වැඩිවීමක් වාර්තා වේ. 2016 අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල එහි වර්ධනය පිළිවෙලින් 3.5% ක් සහ 1.6 % ක් විය.

 

කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර මෙම දර්ශකය මඟින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනා ගත හැකිය. තව ද මෙමඟින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකිය. ඒ අනුව මෙම දර්ශකයේ මාසික අගයන් කාර්තුමය වශයෙන් ගණනය කරනු ලබන අතර දින 63 ක කාල පරතරයකට පසුව නිකුත් කරනු ලැබේ. 2015 පදනම් වර්ෂය ලෙස ගෙන ගණනය කරන ලද මෙම දර්ශකයෙහි අගයන් වෙනස් පදනම් වර්ෂ සහිත දර්ශක සමඟ සැසැඳිය නොහැක.

 

මෙම දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වූ 2015 වාර්ෂික කර්මාන්ත සමීක්ෂණයෙහි දත්ත දර්ශකයෙහි බරිත අගයන් ගණනය කිරීමට භාවිත කරන ලද අතර නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි එකතු කළ අගය පදනම් කරගෙන බරිත අගයන් ගණනය කරන ලදි. ඒ අනුව නිෂ්පාදන කර්මාන්ත අංශයට ආහාර නිෂ්පාදන අංශයෙන් ඉහළම දායතක්වය (35.2%) වාර්තා වූ අතර ඇඟලුම් නිෂ්පාදන (19.8%) සහ ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදනය (7.8%)  පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ගෙන ඇත.

 

තව ද, 2015 සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව 2016 ජූලි මස ගෘහ භාණ්ඩ නිෂ්පාදන ( 20.9%) සහ ඖෂධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන  (20.3%) වල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2016 ජූලි මස ආහාර නිෂ්පාදන අංශයෙහි  1.0% ක වැඩිවීමක් ද, 2016 අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස වල 3.0% ක සහ 0.5% ක වර්ධනයක් ද වාර්තා වේ. අඟුරු සහ ඛනිජතෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන වල 2016 ජූලි මස වැඩිවීමක් වාර්තා වුව ද, 2016 අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස වල පිළිවෙලින් 4.1% ක සහ 3.3% ක අඩුවීමක් වාර්තා වේ. ඒ අනුව 2016 තෙවන කාර්තුවෙහි ආහාර නිෂ්පාදන අංශය සහ බීම වර්ග නිෂ්පාදන අංශය පිළිවෙලින් 1.5% ක සහ 4.4% ක වර්ධනයක් වාර්තා වේ. 2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, විදුලි උපකරණ නිෂ්පාදන වල අඩුවීම 2016 ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස වල පිළිවෙළින් 4.9%, 0.5% සහ 16.1% ක් වන අතර 2015 වර්ෂයේ සාමාන්‍ය කාර්තුමය නිෂ්පාදනයට  සාපේක්ෂව මෙම අංශයෙහි 2016 තෙවන කාර්තුවෙහි අඩුවීම 7.2% ක් වේ.

මේ පිළිබඳව වැඩි විස්තර www.statistics.gov.lk/Industries වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.