ආපදා සහන මෙහෙයුම් මධ්‍යයේ රටම එකට වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඇගැයීමට ලක්වේ

ආපදා සහන මෙහෙයුම් මධ්‍යයේ රටම එකට වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඇගැයීමට ලක්වේ
  • SocialShare:

මෑතකදී ඇති වූ ජාතික ආපදා තත්ත්වය හමුවේ සහන සේවා සඳහා නාවික හමුදාව විශිෂ්ට ලෙස දායක වෙමින් වුවද, ‘රටම එකට’ වැඩසටහන අඛණ්ඩව හා කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සිය ප්‍රශංසාව පිරිනැමීය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර ඊයේ (ජනවාරි 13) අකුරේගොඩ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත මෙහෙයුම් මැදිරිය නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ‘රටම එකට’ වැඩසටහනේ ජාතික වැදගත්කම අවධාරණය කරමින් මෙලෙස ප්‍රශංසා පිරිනැමුවේය.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

නාවික හමුදා මෙහෙයුම් මැදිරියේ සිදු කළ නිරීක්‍ෂණයේදී සහ එහිදී ලබාදුන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමේදී, නාවික හමුදාවේ අණදීම සහ පාලන යාන්ත්‍රණයන්, මෙහෙයුම් සම්බන්ධීකරණය සහ සමුද්‍රීය ආරක්‍ෂක සූදානම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළේය. විශේෂයෙන්ම නීතිවිරෝධී මුහුදු ක්‍රියාකාරකම් මර්ධනය කරමින් ‘රටම එකට’ වැඩසටහන බාධාවකින් තොරව සාර්ථකව පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව ඉටුකරන තීරණාත්මක කාර්යභාරය මෙහිදී විශේෂ ඇගැයීමට ලක් විය.

එහිදී, පසුගිය ස්වාභාවික ආපදා තත්ත්වය හමුවේ දිවයින පුරා සහන සේවා සහ මානුෂීය ආධාර සැපයීමට දායක වන අතරතුර, ජාතික ආරක්‍ෂක බැඳීම් සහ සමුද්‍රීය නිරීක්‍ෂණ මෙහෙයුම් අතපසු නොකර ‘රටම එකට’ වැඩසටහනේ මෙහෙයුම් අඛණ්ඩතාව පවත්වාගත් ආකාරය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාව දැනුවත් කරන ලදී.

සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන මැඩපැවැත්වීම සඳහා රටේ සමුද්‍රීය කලාපය පුරා සිදු කරන ලද මෙහෙයුම් ද සමාලෝචනය කරන ලදී. ඊට අමතරව, නාවික හමුදාවේ සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම්, ධීවර හා වෙරළබඩ ප්‍රජාවන්ට ලබා දෙන සහාය සහ සමුද්‍ර පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා ගෙන ඇති උත්සාහයන් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ‘රටම එකට’ වැඩසටහන ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් උපායමාර්ගිකව ඉතා වැදගත් බව පෙන්වා දුන්නේය. ආපදා තත්ත්වයන් හමුවේ වුවද තීරණාත්මක ආරක්‍ෂක මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව දැක්වූ වෘත්තීයභාවය, ශක්තිමත්භාවය සහ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව අගය කළේය. මීට අමතරව, මෙහෙයුම් සූදානම, කාර්යක්‍ෂමතාව සහ සම්බන්ධීකරණය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙරට සාගරික කලාපය සුරැකීමේදී සහ ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී නාවික හමුදාව ඉටුකරන සුවිශේෂී කාර්යභාරය කෙරෙහි රජයේ පූර්ණ විශ්වාසය යළි තහවුරු කළේය.

මෙම අවස්ථාවට නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.