ජනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සියල්ල සූදානම්

ජනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සියල්ල සූදානම්
  • SocialShare:

ජනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 18 වැනි වරට සංවිධානය කරන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මස 30වැනි දින සහ ඔක්තෝබර් මස 01 වැනි දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

මෙම වසරේ සමුළුවේ තේමාව “ තිරසර ප්‍රගතිය සඳහා අන්තර් ක්ෂේත්‍රීය අධ්‍යයන පර්යේෂණ සීමාවන් සාක්ෂාත් කර ගැනීම “ බවත් විශ්විවිද්‍යාලයේ පවතින පීඨ 10ටම ප්‍රධාන තේමාවට සමගාමීව තේමාවන් යටතේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම පර්යේෂණ සමුළුවේ ආරම්භක දේශනය සඳහා  මැලේසියාවේ යුනිටා ඉන්ටර්නැෂනල් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථියකු වන මහාචාර්ය ඩෙටෝ ජෙස්විල් සිංහ්ග් මහතා සහභාගී වන බවත් දේශීය මෙන්ම විදේශීය විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරුන් මහාචාර්යවරුන් විද්‍යාර්ථීන් සහභාගී වන බව සඳහන් කළේය.

එසේම මේ වනවිට රටවල් 9කින් සහභාගීත්වය තහවුරු කර ඇති බව දැනුම් දුන් ඒ මහතා මෙම විශ්වවිද්‍යාලය කලාපයේ ඇති එකම ආරක්ෂක විශ්විවිද්‍යාලය බවද සඳහන් කළේය.

මෙම පර්යේෂණ සමුළුව සඳහා පර්යේෂණ පත්‍රිකා 600ක් පළකිරීම සඳහා තෝරා ගෙන ඇති බව පෙන්වා දුන් උපකුලපතිවරයා ඒ සඳහා විවිධ රටවල් විවිධ අංශ යටකේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ බවද කීය.

මෙම පර්යේෂණ සමුළුව මගින් අධ්‍යයන සහයෝගීතාවය ප්‍රවර්ධනය , නවෝත්පාදන දිරිමත් කිරීම , පර්යේෂණ කටයුතු සිදු කිරීම දිරිමත් කිරීම ආදී ප්‍රතිලාභ රැසක් සැළසෙන බව මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනී ජයකොඩි මහත්මිය පැවසුවාය.