අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2014.12.04

    දෙසැම්බර් 04, 2014

    ශ‍්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුම

    ශ‍්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවක සේවය කිරීම සඳහා විදේශීය නාවික ප‍්‍රවීණතා සහතිකයක් සහිත නාවිකයෙකුට එම සහතිකයට අමතරව ශ‍්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ඊට සමාන තත්ත්වයේ සහතිකයක් ලබා ගත යුතු මෙන් ම ශ‍්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද නාවික ප‍්‍රවීණතා සහතිකයක් හිමි නාවිකයෙකුට විදේශීය ධජයක් යටතේ ලියාපදිංචි කළ නෞකාවක සේවය කිරීම සඳහා එකී විදේශීය රාජ්‍යයට අයත් සමුද්‍රීය පරිපාලනය ආයතනය විසින් නිකුත් කරනු ලබන ඊට සමාන තත්ත්වයේ සහතිකයක් ලබා ගත යුතු වේ.


    1971 අංක 52 දරන වෙළෙඳ නැව් පනත යටතේ ද මෙම අවශ්‍යතාව ගෙන හැර දක්වා ඇත. ශ‍්‍රී ලංකාව දැනටමත් රටවල් 28ක් සමඟ මෙම පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළැඹී ඇත. කොරියානු රජය මෙම කොන්දේසි යටතේ ශ‍්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමටත් ඒ අනුව ශ‍්‍රී ලාංකික නාවිකයන් කොරියානු ධජය යටතේ ක‍්‍රියාත්මක වන නැව්වල සේවය කිරීමටත් කොරියානු ජාතිකයන් ශ‍්‍රී ලංකා ධජය යටතේ ක‍්‍රියාත්මක වන නැව්වල සේවය කිරීමටත් හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් මහා මාර්ග වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ  අනුමැතිය ලබා දෙන ලදී.
     

    නේපාලයේ ලුම්බිණි නුවර ස්ථාපිත දුටුගැමුණු විශ‍්‍රාම ශාලාව

    මෙම විශ‍්‍රාම ශාලාවේ මෙහෙයුම් නඩත්තු උපකරණ මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 20.72ක් ලබා ගැනීමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ  අනුමැතිය ලබා දෙන ලදී.  
     
    අපරාධ වැලැක්වීමේ ආඥා පනත සංශෝධනය කිරීම

    මෙම පනත ඉදිරිපත් කිරීමෙන් පසු ඇතැම් සාපරාධී කි‍්‍රයා නියාමනය සහ පාලනය කිරීම සඳහා විධිවිධාන සලසමින් පාර්ලිමේන්තුව විසින් නව නීති හඳුන්වා දී තිබෙන අතර එමෙන්ම එකී සාපරාධී ක‍්‍රියා මැඩපැවැත්වීම පිණිස නව නීති ද හඳුන්වා දී තිබේ. එබැවින් මෙම නව නීති මඟින් හඳුන්වාදී ඇති ඇතැම් වරදවල් සඳහා චෝදනා ලබන තැනැත්තන්ගේ ද ඇඟිලි සලකුණු ලබා ගැනීමේ අවශ්‍යතාවක් වර්තමානයේ පැන නැගී ඇත. මේ සම්බන්ධයෙන් නීති සංශෝධන සැකසීමට නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කිරීම සඳහා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
     

    කෘෂිකර්මය හා ඊට අදාළ ක්ෂේත‍්‍රවලට අදාළ ශ‍්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතා ගිවිසුම
     
    ශ‍්‍රී ලංකාව හා ජපානය අතර විද්‍යාත්මක තාක්ෂණික හා ආර්ථිකමය සහයෝගිතාව ප‍්‍රවර්ධනය සඳහා වූ ක‍්‍රියාකාරකම් ඒ ඒ රටවල පවතින නීති හා රෙගුලාසිවලට යටත්ව ක‍්‍රියාත්මක කිරීම සඳහා මෙම සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.  

     
    ශාක පරීක්ෂාව හා නිරෝධායන කටයුතුවල සහයෝගිතාව උදෙසා ශ‍්‍රී ලංකාව හා චීනය අතර යෝජිත අවබෝධතා ගිවිසුම

    ශ‍්‍රී ලංකාව හා චීනය තම රටවල වෙනත් රටවලින් ඇතුළු වී පැතිර යා හැකි ශාක පළිබෝධ රට තුළට ඇතුළු වී පැතිරීයාම වැළැක්වීම තුළින් කෘෂි හා වන සම්පත් නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ශාක හා ශාක නිෂ්පාදන වළෙඳාම ප‍්‍රවර්ධනය කිරීම මෙම අවබෝධතා ගිවිසුමෙන් බලාපොරොත්තු වේ.

    ශාක පරීක්ෂාව හා නිරෝධායන ක්ෂේත‍්‍රයන් හි ද්විපාර්ශවික සහයෝගිතාව ප‍්‍රවර්ධනය හා ශක්තිමත් කිරීම උදෙසා මෙම අවබෝධතා ගිවිසුම හරහා ක‍්‍රියාත්මක කරන ක‍්‍රියාකාරකම් ඒ ඒ රටවල නීති හා රෙගුලාසිවලට යටත්ව ක‍්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.  

    හම්බන්තොට ටවර් හිල් ප‍්‍රදේශය ප‍්‍රතිසංවර්ධනය කිරීම

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද මහ හම්බන්තොට ප‍්‍රධාන සැලැස්මේ කලාප සැලැස්ම අනුව "ටවර් හිල්" ප‍්‍රදේශය වෙරළාසන්න සංචාරක කලාපය යටතේලා ගැනේ. වෙරළාසන්න සංචාරක කලාපයෙහි පිහිටි සංචාරක ප‍්‍රවර්ධනයෙහිලා වැදගත් අංශයක් වන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්මාරකයක් පුනරුත්ථාපනය කොට රැකගැනීම අතිශයින් වැදගත් ලෙස සැලකේ. ප‍්‍රධාන වශයෙන් කෞතුකාගාර ප‍්‍රදර්ශන ශාලා තොරතුරු මධ්‍යස්ථාන, විශ‍්‍රාම ශාලා හා තානායම් ආදිය මෙම ව්‍යාපෘතිය යටතේ පුනරුත්ථාපනය කර රැකගැනීම අතිශයින් වැදගත් ලෙස සැලකේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති ඉඩම් කට්ටි 10ක් පුනරුත්ථාපනය සඳහා ලබාදීමටත් එම කටයුතු ක‍්‍රියාත්මක කිරීමටත් ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා වන ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    උතුරු අධිවේගී මාර්ගයේ අංක 02 සිට 08 දක්වා වන කොන්ත‍්‍රාත් පැකේජයන් හි ඉදිකිරීම් අධීක්ෂණය සඳහා උපදේශන සේවා සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීම

    උපදේශක ප‍්‍රසම්පාදන කැබිනට් අනුකමිටුව මඟින් නිර්දේශිත පරිදි වේයන්ගොඩ සිට ගලේවල දක්වා වූ සහ ලින්ක් එක්ස්ප‍්‍රස් වේ කොටස යනුවෙන් හඳුන්වන පොතුහැර සිට ගලගෙදර දක්වා වූ මාර්ග කොටස් සඳහා උපදේශක හා ඉදිකිරීම් අධීක්ෂණය කිරීම සඳහා වූ කොන්ත‍්‍රාත්තු ප‍්‍රදානය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් මහා මාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා වශයෙන් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     

    අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල විසින් අරමුදල් සපයනු ලබන පාලම් 25ක් නැවත ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතිය

    කොන්ත‍්‍රාත් පැකේජ 01 සඳහා සිවිල් වැඩ කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීම.

    පාලම් 25ක් නැවත ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියේ පිරිවැය දැරීම පිණිස කුවේට් ඩිනාර් මිලියන 10ක ණය මුදලක් අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදලින් ශ‍්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. බස්නාහිර, දකුණ, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු යන පළාත්වල ජාතික මහා මාර්ග ජාලයේ පිහිටි පටු හෝ අබලන් තත්ත්වයේ පවතින පාලම් 25ක් මෙම ව්‍යාපෘතිය යටතේ නැවත ඉදිකිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය කොන්ත‍්‍රාත් පැකේජ 03ක් වශයෙන් වෙන් කර පළමු පැකේජය යටතේ පාලම් 08ක් ඉදිකිරීමට ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ප‍්‍රදානය කිරීමට මහා මාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.  


    රාජගිරිය , පොල්ගහවෙල සහ ගණේමුල්ල යන ස්ථානයන් හි ගුවන් පාලම් ඉදිකිරීම සඳහා වන කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීම

    රාජගිරිය, පොල්ගහවෙල සහ ගණේමුල්ල යන ස්ථානයන් හි ගුවන් පාලම් ඉදිකිරීමේ ඇති අවශ්‍යතාව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගනු ලැබ ඇත. රථවාහන තදබදය අඩු කිරීම, අනතුරු අවම කිරීම සහ ඉහළ රථවාහන මෙහෙයුම් පිරිවැය අඩුකිරීම යන කාර්යයන් සඳහා රාජගිරියෙහි ගුවන් පාලමක් ඉදිකිරීම ඉක්මණින් සිදු කළ යුතු ව ඇත. විශේෂයෙන් දුම්රිය හරස් මාර්ගයන් හි ගේට්ටු නිතර නිතර වැසීම හේතු කොට ගෙන මාර්ග භාවිත කරන්නන් විසින් මුහුණපානු ලබන දීර්ඝ ප‍්‍රමාදයන් වැලැක්වීම පිණිස ගණේමුල්ල සහ පොල්ගහවෙල ගුවන් පාලම් ඉදිකිරීම සිදු කළ යුතු ව ඇත. මෙම ගුවන් පාලම් 03 ඉදිකිරීම සඳහා වන කොන්ත‍්‍රාත්තු ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ප‍්‍රදානය කිරීමට මහා මාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    හඳුනාගත් මාර්ග 06ක් පුනරුත්ථාපනය කිරීම

    පළාත් හා දිස්ත‍්‍රික්ක සම්බන්ධ කරනු ලබන මාර්ග 06ක් පුනරුත්ථාපනය කිරීම සඳහා හඳුනා ගෙන ඇත. මෙම මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම මඟින් ජාතික මහා මාර්ග ජාලයේ ගමනා ගමන තත්ත්වය වැඩිදියුණු කළ හැක. මෙම මාර්ග වන්නේ

    * අයගම - කුකුළේගම මාර්ගය කිලෝ මීටර් 16.89
    * බණ්ඩාරවෙල - ඌව හයිලන්ඩ් - ඇටැම්පිටිය මාර්ගය කිලෝ මීටර් 16.49
    * දික්වැල්ල - ජන්ගුල්ල - තල්පිටිගල මාර්ගය කිලෝ මීටර් 24.14
    * බලන්ගොඩ - බෝවත්ත - කල්තොට මාර්ගය කිලෝ මීටර් 28.96
    * නෝර්වුඩ් - බොගවන්තලාව - කැම්පියන් මාර්ගය කිලෝ මීටර් 16.89
    * පස්සර - හිඟුරුකඩුව - පැලවත්ත මාර්ගය කිලෝ මීටර් 30.17
    *බ්ලැක්පූල් - අඹේවල - පට්ටිපොළ - හෝර්ටන්තැන්න මාර්ගය කිලෝ මීටර් 28.16

    ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම කොන්ත‍්‍රාත්තු පිරිනැමීමට මහා මාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    භාණ්ඩාගාර ඇපකරයක් මත දේශීය බැංකු වෙතින් ලබා ගනු ලබන අරමුදල් යොදවා ප‍්‍රමුඛතා ජල සම්පාදන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම

    ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීම.

    ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම කොන්ත‍්‍රාත්තු පිරිනැමීමට ජලසම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    දේශීය බැංකු වෙතින් ලබා ගනු ලබන අරමුදල් යොදවා ප‍්‍රමුඛතා ජල සම්පාදන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම

    කොළඹ දිස්ත‍්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන පැකේජය සඳහා කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීම.

    ඝන මීටර් 18,000ක ධාරිතාවකින් යුත් බිම් ජලාශයක් ඉදිකිරීම වග මාර්ගය ඔස්සේ ඉරිදා පොළ හන්දියේ සිට පිටුම්පේ දක්වා මිලි මීටර් 1000ක විශ්කම්භයෙන් යුත් DI  සම්පේ‍්‍රෂණය නළ කිලෝ මීටර් 08ක් දුරට සහ බොදාහැරීමේ නළ කිලෝ මීටර් 10ක් දුරට සපයා ඇතිරීම මෙම ව්‍යාපෘතියට අයත් වේ. පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වග බටහිර පින්නවල දකුණ උග්ගල්ල සහ පිටුම්පේ උතුර යන ග‍්‍රාම නිලධාරී වසම් හතරෙන් කොටසක් ප‍්‍රධාන වශයෙන් මෙම බෙදාහැරීමේ මාර්ගය මඟින් ආවරණය කරනු ඇත. ඉහත ග‍්‍රාම නිලධාරී වසම්වල ඉතුරු ප‍්‍රදේශ කොළඹ දිස්ත‍්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතියේ තුන්වන පැකේජය සඳහා ඇතුළත් කර ඇත.

    ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම කොන්ත‍්‍රාත්තු පිරිනැමීමට ජලසම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    මඩකළපුව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම දෙවන අදියර

    මධ්‍යම ඉංජිනේරු උපදේශක මණ්ඩලය වෙත මෙම ඉදිකිරීම් කටයුතු ප‍්‍රදානය කිරීමට අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයට අනුබද්ධිත සහල් විකිණීමේ වෙළෙඳ කුටි ඉදිකිරීම  
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මරදගහමුල නගරය ආශ‍්‍රිත ව සහල් අලෙවි කිරීමේ කටයුතු දශක දෙකක පෙර සිට ම පැවත එන්නකි. වර්තමානයේ එය වඩාත් ව්‍යාප්තව බස්නාහිර පළාතේ විශාලතම සහල් අලෙවි මධ්‍යස්ථානය බවට පත්ව ඇත. රුපියල් දශ ලක්ෂ 372.18ක වියදමින් සහල් ගබඩා සංකීර්ණයක් මරදගහමුල වැවේගොඩැල්ල වත්ත ප‍්‍රදේශයේ දැනටමත් ඉදිකර ඇත. මීට අනුබද්ධව නව සහල් අලෙවි කිරීමේ වෙළෙඳ කුටි 115ක් රුපියල් මිලියන 115ක වියදමින් ඉදිකිරීම තුළින් මරදගහමුල සහල් වෙළෙඳපොළ සක‍්‍රීය ව ක‍්‍රියාත්මක කිරීමට හැකි බව හඳුනාගෙන ඇත. මෙම ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

    අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමන්‍ය පෙළ) විභාගය සමත් වුව ද විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට නොහැකි වන සිසුන් සඳහා උසස් තාක්ෂණ ආයතන සඳහා ඇති  උසස් තාක්ෂණ ආයතනවල පහසුකම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    ඒ අනුව දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ මහල් 04ක ගොඩනැගිල්ලක් ද කෑගල්ල උසස් අධ්‍යාපන ආයතනයේ මහල් 04ක ගොඩනැගිල්ලක් ද යාපනය උසස් අධ්‍යාපන ආයතනයේ මහල් 04ක ගොඩනැගිල්ලක් ද ඉදිකෙරෙනු ඇත.

    2014/ 2015 මහ කන්නය සඳහා පොහොර ප‍්‍රසම්පාදනය කිරීම

    සහනාධාර ක‍්‍රමය යටතේ ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීම සීමාසහිත ලක් පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් සමාගම විසින් ඉටු කරනු ලබයි. මෙම සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වේ. 2014.08.29 සහ 2014.09.03 රැස් වූ ප‍්‍රසම්පාදන කමිටු 2014 /2015 මහ කන්නය සඳහා පොහොර සැපයීම පිළිබඳ කොන්ත‍්‍රාත්තු ප‍්‍රදානය නිර්දේශ කර ඇත. ඒ අනුව මෙම කොන්ත‍්‍රාත්තු ප‍්‍රදානය කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

     

    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya