Print this page

2018-09-11 දින අමාත්‍ය මණ්ඩල තීරණ

සැප්තැම්බර් 12, 2018
2018-09-11 දින අමාත්‍ය මණ්ඩල තීරණ
 
 
 
 
මැදි ආදායම් නිවාස ණය යෝජනා ක්‍රමය
 
- මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘතිවලින් පළමුවරට නිවසක් මිලදී ගන්නා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම මැදි ආදායම් ලාභීන්ට ඒ සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා සහන ණයක් ලබා ගත හැකි වන පරිදි මැදි ආදායම් නිවාස ණය යෝජනා ක්‍රමය ව්‍යාප්ත කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයට අයදුම් කිරීම සඳහා පෙර පැවති වයස් සීමා වෙනුවට බැංකු විසින් නිවාස ණය ලබා දීමේදී සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන වයස් සීමාවන් සැලකිල්ලට ගනිමින් සහ පෞද්ගලික අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිවලින්ද නිවාස මිල දී ගැනීමට හැකි වන පරිදි ප්‍රතිලාභීන් වැඩි සංඛ්‍යාවකට සහන සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මීට අදාළව අතිගරු ජනාධිපතිතුමා විසින් යෝජනා කර තිබූ පරිදි මෙම වැඩසටහනට සුදුසුකම් ලැබීමට අදාළ මාසික ආදායම් මට්ටම පහළ දැමීමටද තීරණය විය.
 
 
මඩකළපුව මහජන පුස්තකාල ගොඩනැඟිල්ලේ වැඩ නිම කිරීම
 
- මඩකළපුව මහජන පුස්තකාලය පවත්වාගෙන යනු ලබන අවුරුදු 50ක් පැරැණි ගොඩනැඟිල්ල වෙනුවට නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. එම ගොඩනැඟිල්ලේ වැඩ නිම කිරීම සඳහා තව දුරටත් අවශ්‍යව ඇති රුපියල් මිලියන 169.97ක ප්‍රතිපාදන 2019 වර්ෂයේ අයවැය මඟින් සලසා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
දැහැමි සමාජයක් උදෙසා තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම
 
 
- ගමයි, පන්සලයි යන සංකල්පය වඩාත් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිව සාරධර්ම සුරකින ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රජාවක් සහිත ග්‍රාමයක් නිර්මාණය කිරීමේ අරමුණින්, විහාරස්ථාන කේන්ද්‍ර කරගත් තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙමඟින් වත්මන් සමාජය තුළ පිරිහීමට ලක් වෙමින් පවතින අතීතයේ සිට පැවතෙන බෞද්ධ සාරධර්ම, සිරිත්විරිත්, සංස්කෘතික සංකල්පයන් අනුව ගමේ පිහිටි විහාරස්ථානය මුල් කරගනිමින් ජන ජීවිතය හැඩගැස්වීම සිදු කරනු ලැබේ. පසුගිය වර්ෂයේදී ගම්මාන 50ක ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සාර්ථකත්වය සලකා, ඉදිරි වර්ෂ තුළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගම්මාන 250ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සහ අනෙකුත් ආගමික සිද්ධස්ථානද කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ දැනුවත් කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ නැවත මුද්‍රණ කටයුතු බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් සිදු කිරීම
 
- 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පාලි ත්‍රිපිටකය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු ආරම්භ වූ අතර, 1989 වර්ෂය වන විට එම ග්‍රන්ථ මාලාවේ කටයුතු නිම කර තිබේ. ඉදිරියේදී මෙම ග්‍රන්ථ මාලාව වඩාත් විධිමත් පරිදි මුද්‍රණය කර ප්‍රචලිත කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබේ. ඒ අනුව, ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සංස්කරණය කර මුද්‍රණය කිරීමේ වගකීම බුද්ධශාසන අමාත්‍යාංශය වෙත පවරා ගැනීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම් තත්ත්වය වර්ධනය කරගැනීම සඳහා 2005 අංක 27 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත සංශෝධනය කිරීම
 
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලැබිය යුතු දෛනික ආදායමෙන් සැලකිය යුතු කොටසක් විවිධ අයථා ක්‍රියා හේතුවෙන් අහිමි වන බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය වැළැක්වීම හරහා එහි ආදායම් තත්ත්වය වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීම මඟින් 2005 අංක 27 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන
 
- ජනතාවගේ තොරතුරු අයිතිය සහතික කළ රටවල් අතරට එක් වී සිටින ශ්‍රී ලංකාව ලොව තෙවන හොඳම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතටද හිමිකම් කියනු ලබයි. ඒ අනුව 2018 වර්ෂය 'මහජනතාව දැනුවත් කිරීමේ වසර' ලෙස නම් කරමින් සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව සැප්තැම්බර් මස 21 දින සිට 28 දින දක්වා කාලසීමාව තොරතුරු සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, පොදු ජන යහපත උදෙසා තොරතුරු අයිතිය භාවිත කරනු ලබන ආකාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමටත් රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව මෙම වැඩසටහන යටතේ 'ගමට තොරතුරු අයිතිය' නමින් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ජංගම සේවය ක්‍රියාත්මක කිරීමටත්, දිවයින පුරා පිහිටි සියලු පාසල් ආවරණය වන පරිදි මේ පිළිබඳ විවිධ තරග පැවැත්වීම මඟින් පාසල් සිසුන් දැනුවත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
'වසන්තම් ටීවී' රූපවාහිනී නාලිකාවේ ආවරණ කලාපය තවදුරටත් ව්‍යාප්ත කිරීම
 
 
- දමිළ භාෂාව කථා කරනු ලබන ජනතාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය විසින් 'වසන්තම් ටීවී' රූපවාහිනී නාලිකාව ආරම්භ කරනු ලැබූ අතර එහි මුල් අදියර යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආවරණය කරමින් ප්‍රේක්ෂකයින්ට සේවා සැපයීම සිදු කරන ලදී. පසුව එය යාපනය, නැ‍ඟෙනහිර පළාත හා කොකාවිල් ප්‍රදේශය දක්වා ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව දිවයින පුරා අනෙකුත් ප්‍රදේශවලද වෙසෙන දමිළ ප්‍රේක්ෂකයින්ට මෙම නාලිකාවේ වැඩසටහන් නැරැඹීමේ පහසුකම් ලැබෙන පරිදි රුපියල් මිලියන 304ක ආයෝජනයක් යොදවමින් විකාශන පහසුකම් ව්‍යාප්ත කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීම
 
- සෞඛ්‍ය පර්යේෂණ නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමනාකරණය කිරීම සඳහා ජාතික මට්ටමේ 'ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාව' ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
 
රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස වැඩිදියුණු කිරීම
 
- සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා 2018 වර්ෂය අවසානයේදී උපාධි අපේක්ෂකයින් 75 දෙනෙකුගෙන් සමන්විත පළමු වෛද්‍ය සිසුන් කණ්ඩායම බඳවාගැනීමට සැලැසුම් කර තිබේ. එම සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් වැඩිදියුණු කළ යුතුව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට අනුබද්ධිත රෝහල වශයෙන් කටයුතු කිරීමට හැකි වන පරිදි රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් වැඩිදියුණු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
71 වන ජාතික දින උළෙල සංවිධානය කිරීම
 
- 2019 වර්ෂයේ පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන, 71 වන ජාතික දින උළෙලට අදාළ වැඩසටහන පිළියෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය සහ මෙහෙයවීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් ජනතා නියෝජිතයින් 13 දෙනෙකුගෙන් සමන්විත අනුකමිටුවක් පත් කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
 
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අළු අංගනයේ ගොඩ ගැසී ඇති අළු පරිසර හිතකාමී ආකාරයෙන් බැහැර කිරීම
 
 
- නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනයේ අතුරුඵලයක් ලෙස එකතු වී ඇති අළු තොගය හේතුවෙන් අවට ගම්මානවල ජනතාවට සහ පරිසරයට ඇති වී ඇති අහිතකර බලපෑම් වැළැක්වීම පිණිස ඒවා කඩිනමින් බැහැර කිරීමට පියවර ගත යුතු වේ. එහි පියවරක් ලෙස එම අළු භාවිත කරමින් පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා මෙම අළු ලබා දීමට තීරණය කර තිබේ. එහිදී මෙම අළු භාවිතයෙන් ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාවක් අනුව, මෙම අළු අවට පරිසරයට මුදා හැරීමකින් තොරව ගල් අඟුරු බලාගාරයේ අළු අංගනය පිහිටි පරිශ්‍රය තුළම නිෂ්පාදන කටයුතු සිදු කිරීම සඳහා ලබා දීම මඟින් බැහැර කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
ජාතික ධීවර සහ ජල ජීවී වගා ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවීම පිණිස නව පනතක් කෙටුම්පත් කිරීම
 
- දැනට බලාත්මකව පවතින 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත මේ වන විට විවිධ අවස්ථාවන්හිදී සංශෝධනය කරනු ලැබ ඇති අතර, වර්තමාන ආර්ථික, සාමාජීය හා පාරිසරික ප්‍රවණතාවන්ට අනුව එම පනත තවදුරටත් සංශෝධනය කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ධීවර කර්මාන්තය, නියාමනය, සංරක්ෂණය හා සංවර්ධනය සඳහා වන විධිවිධාන ඇතුළත් කරමින් නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
සැමට සෙවණ ග්‍රාමශක්ති ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ උතුරු සහ දකුණු පළාත් තුළ නිවාස 1,200ක් ඉදි කිරීම
 
 
- රජය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමශක්ති ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ උතුරු පළාතේ ගම්මාන 25ක නිවාස ඒකක 600ක් සහ දකුණු පළාතේ ගම්මාන 25ක නිවාස ඒකක 600ක් ඉදි කිරීම සඳහා ඉන්දියානු රජය විසින් රුපියල් මිලියන 600ක මූල්‍ය අනුග්‍රහයක් ලබා දී ඇති අතර, ඒ අනුව එම ගම්මානවල ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එම වැඩසටහන යටතේම උතුරු පළාතේ තවත් නිවාස ඒකක 600ක් සහ දකුණු පළාතේ නිවාස ඒකක 600ක් ඉදි කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ඉන්දීය රජය විසින් දක්වා ඇති එකඟතාවය අනුව එම නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට සහ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
ආදර්ශ ගම්මාන නිවාස ක්‍රම තුළ සූර්යයබල පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය
 
 
- නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් රටපුරා ක්‍රියාත්මක කරනු ලබන ආදර්ශ ගම්මානවල පදිංචි ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ දැමිමේ අරමුණින් දැනට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සූර්යයබල සංග්‍රාමය ව්‍යාපෘතිය යටතේ පෞද්ගලික ව්‍යවසායකයින්ගේ සහභාගිත්වයෙන් එකී ආදර්ශ ගම්මාන තුළ සූර්යය පැනල සවි කිරීමේ ව්‍යාපාතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයෝජකයින් හඳුනාගැනීම සඳහා යෝජනා කැඳවීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
දඬුවම් නියම වූ තැනැත්තන් භාරදීම පිළිබඳ ශ්‍රී ලංකාව සහ තායිලන්ත රාජධානිය අතර වන ගිවිසුම
 
 
- දඬුවම් නියම වූ තැනැත්තන් භාරදීම පිළිබඳ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් තබා ඇති ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
 
සත්ව බිලිපූජා වැළැක්වීම සඳහා නීති පැනවීම
 
 
- පුරාතන ආගමික චාරිත්‍රයක් වශයෙන් සලකනු ලබන සත්ත්ව බිලි පූජා පැවැත්වීම තවමත් ඇතැම් කෝවිල්වල ප්‍රසිද්ධියේ සිදු කරන නමුත් ඒ සඳහා බහුතර හින්දු භක්තිකයින් එකඟතාව නොදක්වන බව පෙනී ගොස් ඇත. මේ වන විට හින්දු කෝවිල්වල සත්ත්ව බිලි පූජාව පැවැත්වීමට ඉන්දියාවේතහනම් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළද කෝවිල් තුළ හෝ එහි සීමාව තුළ සිදු කරනු ලබන සත්ත්ව හා පක්ෂි බිලි පූජා තහනම් කිරීම පිණිස වන නීති පැනවීමටත්, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පත මත පදනම්ව යෝග්‍ය නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
 
දේපළ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා වන ඒකාබද්ධ ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය
 
 
- දේපළ ලියාපදිංචි කිරීමේදී ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම මඟින් ආයෝජකයින්ට ව්‍යාපාර පහසුකරණය පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නංවාගැනීමේ අරමුණින් ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ ඇත. දේපළ ලියාපදිංචිය සඳහා පවතින ක්‍රමවේදය අනුව දින 51ක් ගතවන අතර, ඒ සඳහා පියවර 09ක් අනුගමනය කළ යුතුය. ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් එම කාලසීමාව දින 05ක් දක්වා සහ පියවර 02ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනු ලැබේ. 2018 වර්ෂය තුළ මෙම වැඩසටහන බස්නාහිර සහ දකුණු පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඉදිරි කාලය තුළ මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය නියාමනය සහ යටිතල පහසුකම් සැලසීම
 
 
- ශ්‍රී ලංකාව තුළ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණින් ඒ සඳහා නියාමන ව්‍යූහයක් සැකසීමට අවශ්‍ය පහසුකම් සැපයීම සහ දැනට සිටින බෝට්ටු නිෂ්පාදකයින් සඳහා සිය කර්මාන්ත පවත්වා ගැනීමට අවශ්‍ය වන යටිතල පහසුකම් සැලසීමේ අරමුණින් වැලිගම, කප්පරතොට බෝට්ටු දියත් කිරීමේ ස්ථානය, ලිස්සුම් මඟ හා අලුත්වැඩියා පහසුකම් ඉදි කිරීම හා දියකඩනය ඉදි කිරීම පිණිස ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමට නියමිතය. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
බණ්ඩාරවෙල, දියතලාව හා හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ තුළුමුව ව්‍යූහය ඉදි කිරීම
 
 
- උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී බලපෑමට ලක් වී ඇති ග්‍රාම නිලධාරි කොට්ඨාස 63හි පදිංචිකරුවන්ගේ වත්මන් හා අනාගත ජල අවශ්‍යතා සපුරාලීම පිණිස බණ්ඩාරවෙල, දියතලාව හා හපුතලේ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලබන ඩයබරා ජලාශය මෙම ව්‍යාපෘතියේ ජල ප්‍රභවය වශයෙන් හඳුනාගනු ලැබ ඇත. දැනට ඩයබරා ජලාශය ඉදි කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතින බැවින් එම ජලාශය පිරවීමට පෙර තුළුමුව ඉදි කිරීම සිදු කළ යුතු බැවින් එම කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය/මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම වෙතින් සිදු කරවා ගැනීම පිණිසත් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිසත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
හම්බන්තොට සහ නුවරඑළිය දිසා මහ රෝහල් නෙදර්ලන්ත ආධාර යටතේ සංවර්ධනය කිරීම
 
 
- හම්බන්තොට සහ නුවරඑළිය දිසා මහ රෝහල් ඉදි කිරීම සහ ඒවාට අවශ්‍ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘති නෙදර්ලන්ත අරමුදල් සහාය යටතේ සිදු කිරීම 2012 වසරේදී ආරම්භ කර ඇති නමුත්, එම ව්‍යාපෘති විවිධ හේතු මත මෙතෙක් නිම කිරීමට නොහැකි වීම හේතුවෙන් එම රෝහල් සඳහා අවශ්‍ය උපකරණ වෙනුවෙන් දැරිය යුතු වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එසේ වුවද, මෙම ප්‍රදේශයන්හි ජනතාවගේ අවශ්‍යතාවන් කඩිනමින් ඉටු කිරීමේ අවශ්‍යතාවය සලකා බලා මෙම රෝහල් සඳහා නියමිත පිරිවිතරයන් අනුව නවීන උපකරණ සැලසීම පිණිස අවශ්‍ය අනුමැතීන් සහ අරමුදල් සලසා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
මතුගම, ගාල්ල, බෙලිඅත්ත, මාතර සහ පල්ලේකැලේ ග්‍රිඩ් උප‍ පොළ ඉදි කිරීම
 
 
- සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පුරා මධ්‍යම විදුලි ජාලයට සම්බන්ධ කෙරෙන මෙගාවොට් 01 බැගින් වූ සූර්ය බලාගාර 90ක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මෙම සූර්ය බලාගාර විදුලිබල පද්ධතියට සම්බන්ධ කරගැනීම සඳහා ඉදි කළ යුතු ග්‍රිඩ් උප පොළවල් අතරින් මතුගම, ගාල්ල, බෙලිඅත්ත, මාතර සහ පල්ලෙකැලේ ග්‍රිඩ් උප‍ පොළ 05 ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශ අනුව අදාළ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
 
රජරට, කොළඹ, රුහුණ සහ නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
 
 
- රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමාණුකූලව වැඩි කිරීමට සැලසුම් කර ඇති බැවින් ඒවායේ ශිෂ්‍යයින්ට වඩාත් ගුණාත්මක යටිතල පහසුකම් සලසා දීම පිණිස රජරට, කොළඹ, රුහුණු සහ නැ‍ඟෙනහිර යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය සඳහා දේශන ශාලා ඇතුළත් රසායනාගාර සංකීර්ණයක් ඉදි කිරීම සහ එහි මිහින්තලේ ශිෂ්‍ය නේවාසිකාගාර පරිශ්‍රයේ ආපන ශාලා ඉදි කිරීම, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨය සඳහා නව ගොඩනැඟිල්ලේ පළමු අදියර ඉදි කිරීම, නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ නව සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ ගොඩනැඟිල්ලේ පළමු අදියර ඉදි කිරීම හා එහි ප්‍රධාන ගොඩනැඟිලි පරිශ්‍රයේ අලුත්වැඩියාවන් යනාදී සංවර්ධන කාර්යයන් රුපියල් මිලියන 3,690.42ක ආයෝජනයක් සහිතව සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම
 
 
- සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, රුපියල් මිලියන 5,015ක ආයෝජනයක් සහිතව රත්නපුර මහ රෝහලට ආසන්නව පිහිටි අක්කර 20ක භූමිභාගයක ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර තිබේ. මෙම වෛද්‍ය පීඨයේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය සලකා ඒ සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය සඳහා වන සායනික ගොඩනැඟිල්ල ඉදි කිරීම සහ ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
 
බදුල්ල - චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කිලෝමී‍ටර 27.75ක් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම
 
 
- බදුල්ල - චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන අදියර 03ක් යට‍තේ, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් සලසනු ලබන අරමුදල් සහාය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. එහි තුන්වන අදියර වශයෙන් බදුල්ල - චෙන්කලාඩි මාර්ගයේ කිලෝමී‍ටර 249.8 සිට 277.55 දක්වා වන ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,837.43ක බදු රහිත මුදලකට මාගා ඉංජිනියරින් (පෞද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
 
 
කාන්තාවන් අතර කාර්මික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රයේ රැකියා පහසුකම් ප්‍රවර්ධනය කිරීම
 
 
- කාර්මික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රයේ කාන්තා පුහුණුලාභීන් අතර ස්වයං රැකියා ප්‍රවර්ධනය කිරීම, මෙතෙක් පුරුෂයින්ට පමණක් සීමා වී පවතින රැකියා ක්ෂේත්‍ර සඳහා කාන්තාවන් යොමු කිරීම සහ නැඟී එන රැකියා අවස්ථා සඳහා කාන්තා ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්ලෑන් ඉන්ටර්නැෂනල් ඕස්ට්‍රේලියා ආයතනය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
 
යෝජිත ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පනත
 
 
- ත්‍රස්තවාදයෙන් සහ ත්‍රස්තවාදය ආශ්‍රිත ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර සකස් කර ඇති ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, මෙම පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන වේ නම් ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමටත් විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
 
නායකත්ව කුසලතා සමඟින් තරුණයින් සවිබල ගැන්වීම
 
 
- ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා තරුණයින් සවිබල ගැන්වීමේ අරමුණින් ජනාධිපති කාර්යාලයේ 'තිරසර සංවර්ධන අංශය' මඟින් 'ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කිරීම සඳහා වගකීමෙන්, මූලිකත්වය ගැනීමට, නායක්තව කුසලතා සමඟින්, තරුණයින් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය' නමින් වැඩසටහනක් ප්‍රධාන අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2019 - 2021 මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ සලසා ගැනීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 
 
 
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ අභිවෘද්ධිය සඳහා ග්‍රාමීය පාලම් ඉදි කිරීම
 
 
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් අඩු ගම්මානවල ආරම්භ කෙරෙන ආදර්ශ ගම්මානවල නිවාස ප්‍රතිලාභීන්ට නාගරික පොදු පහසුකම් වෙත පහසුවෙන් ළඟා විය හැකි පරිදි, වලස්මුල්ල පල්ලේකන්ද පාරේ යාය පාලම, මැදගොඩ කුඹුක්මුල්ල ඌරු බොක්ක ඔය හරහා පාලම, තලුන්න හා අදුපැලෑන යා කරන පාලම සහ පහල බැරගම පාලම දිගු කිරීම යන ව්‍යාපෘති 04 'නගමු පුරවර' වැඩසටහන යටතේ ඉදි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.